උරහිස් වේදනා කය වෙහෙසවා වැඩ කරන ක්‍රියාශීලී පුද්ගලයන්ට බහුලව ඇතිවිය හැකියි. එවන් වේදනාවන් දැනුණු විට එයින් දැනෙන අපහසුතාවය මග හැරගන්නට බොහෝ දෙනෙකු අනුගමනය කරන්නේ කිසියම් වේදනා නාශක ආලේපනයක් ගල්වා පිරිමැද බැන්ඩේජ් පටියකින් වෙලා මද වේලාවක් තිබෙන්නට හැරීමත් සුළු වේදනා නාශකයන් ලබාගෙන යම් සහනයක් බලාපොරොත්තුවීමත් බව පැවසුවහොත් එය අසත්‍යයක් නොවෙයි. නමුත් එයින් තාවකාලිකව සහනයක් දැනුණාක් මෙන් ඔබට හැගී ගියත් එය ඔබේ මේ උරහිස් වේදනාවට ස්ථීර ප්‍රතිකාරයක් නෙවෙයි. ඇතමුන් මේ සම්බන්ධ ගොඩවෙදකම් කරමින් සිට සාමාන්‍ය ප්‍රතිකාර පතා වෛද්‍යවරයෙකු වෙත ගියත් උරහිස් වේදනාවට බලපාන හේතුව පරීක්ෂණ ඇසුරින් තහවුරු කර නොගෙන ප්‍රතිකාර ලැබූවත් ඇතැම් විට සුව නොවී දිගින් දිගටම පවතින්නට පුළුවන්. අද සෞඛ්‍ය පිටුව තුළින් අප ඔබව දැනුම්වත් කරන්නට බලාපොරොත්තුවනුයේ මේ කාරණය සම්බන්ධයෙනුයි
උරහිස යනු ඕනෑම පුද්ගලයෙකුගේ බහුලවම ක්‍රියාකාරීවන අස්ථි සම්බන්ධය සහිත ස්ථානයයි පේන්ෆුල් ෂෝල්ඩර් නමින් හඳුන්වන මෙය ඉතාම බහුල තත්ත්වයක්. ක්‍රීඩකයන්ට මෙන්ම සාමාන්‍ය කාර්යාල රැකියාවල නියතු අයටත් තරුණ වයසේ පසුවන කාන්තා පිරිමි හැමටත් කිසිදු බේදයකින් තොරව ඇතිවිය හැකි තත්ත්වයක්. කොයිතරම් සුලභ වුවත් කොයිතරම් කරදරකාරී තත්ත්වයක් වුවත් මේ ගැන ඒ තරම් තැකීමක් කරන්නට වෙලාව නොගැනීම නිසා මෙය භයානක තත්ත්වයක් බවට පත්වෙන්නට ඇති ඉඩ කඩ බොහෝය. නමුත් මෙය නොසලකා හැරීම යම් දවසක මේ අත එහා මෙහා කරන්නට නොහැකියාවක් ඇතිකරන්නට සමත්වන තත්ත්වයක් විය හැකි බව ඔබ දන්නවාද ?ප්රෝසන් ෂෝල්ඩර් නම් වන ඒ තත්ත්වය මුලදී ඔබ උරහිස් වේදනා දැනෙන විටම ප්‍රතිකාර ආරම්භ කළා නම් එයින් ඔබට ගැලවෙන්නට තිබූ අවස්ථාවක් පැහැර හැරීමක් වීමට හැකියි. දැන් අපි කාර්යබහුල බව සමග ඇතිවෙන උරහිස් වේදනාව ගැන මුලින්ම කරුණු සොයාබලමු.
ඔබේ සිරුරේ වැඩිපුරම ක්‍රියාකාරීවන අස්ථිය කුමක්දැයි මුලින්ම සිතා බලන්න. අනිවාර්යෙන්ම එය උරහිස් සන්ධිය බව ඔබට මතක්වෙනවා ඇති. ඒ ඔබ එක් දිනක් තුළදී දෑත මෙහෙයවා කරන කාරියන් රැසක් තිබෙන්නට හැකි නිසයි. පාසල් දරුවන් නම් ක්‍රීඩාකිරීම සටහන් ලිවීම උස් ස්ථානවලට නැගීම වැනි කාරියන් සඳහා වඩාත් වාරු ලබාගන්නේ දෑත්වලිනි. ගෘහණියක් ඉවුම් පිහුම් හා නිවසේ සාමාන්‍ය වැඩකටයුතු මෙන්ම අතු ගෑම් , බඩු ඔසවාගෙන ඒම ආදිය සඳහා තම දෑත් කඩිසරව යොදවයි. පිරිමි පාර්ශ්වය වුවත් යාන වාහන පැදවීම, මග තොට ගමන් බිමන් යාමේදී මෙන්ම තම රාජකාරිමය සේවාවන් වෙනුවෙන් දෑත මෙහෙයවයි. මේ අනුව බලන කළ දෙපයට හා අනෙකුත් අස්ථිවලට වඩා උරහිස සන්ධිය වඩාත් ක්‍රියාකාරීවීම ඔබ නොදැනුවත්වම අත්විඳින තත්ත්වයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. පරිණාමය අනුව සලකා බැලූවත් මනුෂ්‍යයා යනු බාහු යුගල වැඩි පුර වෙහෙසවිය හැකි සත්ත්ව කොට්ටඨාසයක් ලෙස පිළිගැනෙයි. යමක් එසැවීමේදී සහ වැඩිපුර දෑත මෙහෙයවා ක්‍රියාකරවීමේදී එන ආතතිය සහ බර දරාගැනීමට සිදුවීමෙන් එසේ වෙහෙසවෙන අයට මේ උරහිස වේදනා වැඩිපුර මතුවෙන්නට ඇති ඉඩ කඩ බොහෝයි. මෙයට අමතරව උරහිස වේදනා ඇතිකිරීමට හේතු කාරක සපයන තවත් බොහෝ හේතු තිබෙන බව ඔබ දැනසිටීම වැදගත්. උරහිස වේදනාව ඇතිවන්නේ සැමවිටම එකම හේතුවක් මත නොවන බව ඔබ දන්නවාද? මේ නිසා තනිවම උරහිස වේදනා මතුවූයේ මේ හේතුව නිසා යැයි සිතීමෙන් ඔබ වැළකිය යුතුමයි. සමහර වේදනාවන් මතුවන්නේ උරහිසේ පවතින ආබාධ නිසාම නෙවෙයි. ඇතැම් විට සිරුරේ වෙනත් තැනක ඇතිවෙන ආබාධ හේතුවෙන් ඇතිවෙන වේදනාවන් සමහර අවස්ථාවලදී ඔබට උරහිස වේදනාවක් ලෙස දැනෙන්නට ඉඩ කඩ පවතින බව සත්‍යයක්. එහෙම වෙන්නේ ඇයිද යන්න අප දැන් වැඩි දුරටත් විමසා බලමු. උරහිසේ අස්ථි මාංශ පේෂී අස්ථී ඛණ්ඩරාවල ඇතිවන ආබාධ නිසා උරහිස වේදනා ඇතිවන්නට හැකි බව ඔබ දැනගත යුතුම කාරණයක්. නමුත් මේ හේතුද උරහිස වේදනාවන් ඇතිකිරීමට බලපානු ලබන ඒකාන්ත හේතු නොවේ. තවත් ශාරීරිකමය වශයෙන් බලපානු ලබන හේතු උරහිස වේදනාවන් සඳහා බලපානු ලබයි. එයින් එක් හේතුවකි පිත්තාශයේ සහ පිත්ත නාලවල මහා ප්රාචීරයේ යට පැත්තේ ඇතිවන ආබාධ ෙමවන් තත්ත්වයක් ඇතිවූ විටද එය මුලින්ම දැනෙන්නට පටන් ගන්නේ උරහිස වේදනාවකින් වීමට ඉඩ තිබේ. ඒ හැරෙන්නට හෘදයේ ඇතිවන ආබාධවලදීද මෙවන් උරහිස වේදනාවක් හරහා රෝග ලක්ෂණ පලකළ හැකිය. එය අප Referred pain ලෙස හඳුන්වන අතර බහුලවම ඇතිවෙන frozen sholder තත්ත්වයේදී පුද්ගලයෙකු දැන හෝ නොදැන යම් බර වැඩක් හෝ උරහිස් නුහුරුව සිටින සේ යම් වැඩක නිරත වූ විට වේදනා ඇති කරයි. එහෙත් ඒ තත්ත්වය වැඩිපුර ඇතිවන්නේ වියපත් පුද්ගලයන්ට සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝගයකින් පෙළෙන්නන්ට බව මතක තබා ගන්න
බොහෝ දෙනෙක් සිතන්නේ මෙවැනි වේදනාවක් වේදනා නාශකවලින් මතහැරගත හැකි බවයි. නමුත් ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් පළමුව ඔබේ දියවැඩියා රෝගය පාලනය කරගෙන සිටිය යුතු බව අමතක නොකරන්න. එසේ රුධිරයේ සීනි දිගින් දිගටම පාලනය නොවී තිබීමේ හේතුවෙන් ඔබේ උරහිස වේදනාව ඇතිවී ඇත්නම් උරහිස වේදනාව වෙනුවෙන් පමණක් ප්‍රතිකාර ලබා සුවයක් අත්විඳිය නොහැකිය. උරහිස ආබාධය සඳහා ප්‍රතිකාර ලබන අතරම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ඔබ දියවැඩියා රෝගය පාලනය සඳහාද උපදෙස් පැතිය යුතුය.කෙසේ නමුත් උරහිස වේදනාව ඔබට එකවරම ඇතිවන්නක් විය නොහැකිය. මුලින්ම සුළු වශයෙන් ආරම්භ වී පසුව ක්‍රම ක්‍රමයෙන් දැඩි වේදනා ගෙන දෙන තත්ත්වයක් ලෙස මෙය වර්ධනය වෙන්නට හැකිය නමුත් මෙහි පවතින එකම ගැටලුව වේදනාව පමණක් නොවේ. ක්‍රම ක්‍රමයෙන් ඔබට උරහිස චලනය කරන්නට අපහසුබවක් දැනෙන්නට පුළුවන්. එම හැකියාව අඩුවීයාමත් සමගම ඔබට මුලදී දැණුන තීව්ර වේදනාව තරමක් සමනය වී ඇතිබවත් දැනෙන්නට හැකියි. නමුත් එය රෝගය සුව වීම පිළිබඳ ලක්ෂණයක් නොවන්නේ තව දුරටත් උරහිස චලනය කරන්නට ඇති හැකියාව අඩුවෙන්නට හැකි බැවිණි. අඩු වෙමින් පැවති උරහිස පසුව චලනය කරන්නටම නොහැකි තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබේ. බොහෝ විට මෙවන් අවස්ථාවල කෙනෙකු සිතන්නේ මෙය කිසියම් අංශභාග තත්ත්වයක් නැති නම් අතපය කොරවීමක් ලෙස වෙන්නට පුළුවනි. ඔවුන් වහාම එක්කෝ කැඩුම් බිඳුම් වෙදකමෙන් සුවයක් ලබන්නට සිතා එවැනි වෙදකමක් වෙත යොමුවෙන්නට සිතිය හැකි අතරම තෙල් බෙහෙත් යොදා සම්භාහනය කිරීමෙන් සුවයක් ලබන්නටද අදහස් කළ හැකිය. නමුත් මෙහිදී ඔබ අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වනුයේ මෙය ඔබ එසේ සිතූ අංශභාග රෝගයක් හෝ අත කොරවී යාම පිළිබඳ තත්ත්වයක් නොවන බවයි. මෙය එසේ සුළුකොට තැකිය හැකි තත්ත්වයක් නොවන බැවින් නිසි ප්‍රතිකාර වෙත නොපමාව යොමුවීම අත්‍යවශ්‍යය.
යම් ආකාරයකින් ඔබ එසේ ප්‍රතිකාර මගහැර සිටිය හොත් මෙය කිසිම වෛද්‍ය ක්‍රමයකින් නැවත ප්‍රකෘතියට පත් කළ නොහැකි අයුරින් උරහිසේ චලනයන් මුළුමනින්ම ඇන සිටින්නට පුළුවන්. රෝගය එසේ පරණවෙන්නට ඉඩ දී ප්‍රතිකාර සොයා යෑමෙන්ද පලක් නොවන නිසාවෙන් වඩාත් සුදුසුවනුයේ රෝගයේ ආරම්භක අවදියේම ඉක්මන් ප්‍රතිකාරවෙත ගොස් අදාල තීව්ර තත්ත්වයෙන් ගැලවීමට කටයුතු කිරීමයි. දැන් අප මේ සඳහා පවතින ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ සොයාබලමු. මේ සඳහා ඔබ සිතන ආකාරයෙන් ඖෂධ පමණක් සෑහේ යැයි පැවසිය නොහැකිය. මේ සඳහා භෞත චිකිත්සක ව්‍යායාමද යෙදිය යුතුවෙයි. නමුත් තනිකරම භෞත චිකිත්සක ව්‍යායාමවලින් පමණක් සුවය ලද නොහැකි අතර ඖෂධ භාවිතාකරන අතර එම භෞත චිකිත්සක ප්රතිකාරද යෙදිය යුතුය. එපමණක් නොවේ ප්‍රතිකාර ලබන අතර උරහිසේ ක්‍රියාකාරිත්වය සීමාකිරීමද අවශ්‍යය. ප්‍රතිකාර ලබනවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ යැයි සිතා ඔබ උරහිස වැඩිපුර මෙහෙය විය යුතු ක්‍රියාවන් සිදුකරන්නේ නම් මෙම තත්ත්වය සුව කරගැනීමට එයින් යම් බාධාවක් ඇති විය හැකිය. නමුත් එයින් අදහස් කරනුයේ ඔබ අත කෙසේවත් නොසොල්වා තබාගත යුතුය යන්න නොවේ.සෙමින් අත ක්‍රියාකාරීවන ව්‍යායාම්වල නිරතවීම අත්‍යවශ්‍යය. උරහිස් සන්ධිය හා ඒ අවට ඇති මාංශ පේෂීවල ඇතිවන ඉදිමුම් තත්ත්වයක් නිසා උරහිසට ඉහළින් උරහිස හරහා ගමන් කරන මස් ගොබය අතේ උඩ භාහුව ඉහළට ඔසවා අත චලනය කරන්නට පටන් ගනියි. මේ මස්ගොබයේ ඛණ්ඩරාව ඉදිමීම නිසාත් උරහිස වේදනාව මතුවිය හැකි වුවත් මෙය කලින් කියූ තත්ත්වය තරම් බරපතල හානියක් නොවෙයි. ප්රතිකාරවලටද ප්‍රතිචාරයක් දක්වයි. එම ඛණ්ඩරාවට උඩින් දියර පිරුණු අවකාශයක් පවතින අතර එහි ඇතිවෙන ඉදිමීම නිසාත් උරහිස වේදනාව මතුවෙන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබ නොසිතනා ලෙස තවත් හේතුවක් මෙයට බලපෑ හැකියි .
ඒ ක්ෂය රෝග බීජයයි. එම රෝග බීජය උරහිස සන්ධියට ඇතුළුවීම නිසාත් එහි ආසාදිතවීම නිසාත් මෙසේ උරහිස වේදනාවක් මතුවන බව අමතක නොකල යුතු කාරණයක්. මේ හේතූන් හැරෙන්නට එම පේෂීයේ ඛණ්ඩරාව කැඩීයාමක් සිදුවී ඇත්නම් එවිටද මේ තත්ත්වය මතුවෙන්නට පුළුවන්. අනෙක් සන්ධි ආබාධ ඇති අයට මේ තත්ත්වය ඇතිවීම සුලභයි. එසේ ඛණ්ඩරාව බිඳී යාම සාමාන්‍යයෙන් වැඩි බරක් ඔසවා පුරුදු නැති කෙනෙක්, හෝ දියවැඩියාව සහ ග්‍රන්ථිවල ආබාධ ඇති කෙනෙකුට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. මෙයටත් ප්‍රතිකාර ගන්නා අතරම විවේකීව සිටින මෙන් සෙමින් උරහිස චලනය කරන ලෙසත් උපදෙස් දෙනු ලබන්නේ මෙය මූලික අවස්ථිවේදීම සුව කළ හැකි තත්ත්වයක් නිසයි. කලාතුරකින් නමුත් අස්ථි මාංශ පේෂීවල හෝ අස්ථී ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් මතුවිය හැකිය. එහිද මූලික අවස්ථාවේ මතුවන ලක්ෂණය වේදනාවය. උඩ භාහුවේ උඩ කෙළවරේ ඇතිවන අස්ථි පිළිකා මෙන්ම මස්ගොබ හා උරහිස් සන්ධිය ඇතුළත කලාතුරකින් ඇතිවන පිළිකා හා උරහිස හන්දිය ඇතුළත පැසවීම් නිසාද මේ වේදනා මතුවිය හැකියි. කලින් කීවාක් මෙන් පිත්තාශයේ ගල් ඇතිවීමත් පිත්ත නාලවල පැසවීමත් උදරය තුළට ලේ ගැලීමත්
( ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීමක් ඇතිවී රුධිරය ගැලීම නිසා මහා ප්‍රාචීරය යටට ගලා විත් රුධිරය එහි තැන්පත් වූ විට ) මහා ප්‍රාචීරය මත සැරව ගෙඩි ඇතිවීමත් පෙණහැල්ලේ උඩම කොටසේ පිළිකා නිසා කලාතුරකින් ඛණ්ඩරාවල කැල්සියම් තැන්පත්වීම නිසා උරහිසට වේදනා දැනීම සිදුවිය හැකිය. මේ නිසා උරහිස වේදනාව නොසලකා ඉන්නට නම් එපා.
සටහන - නාලිකා රාජපක්ෂ