අධි රුධිරපීඩනය නැතිනම් කාටත් හුරුපුරුදු වචනයෙන් කිවහොත් ප්‍රෙෂර් එක නිසා වකුගඩු රෝගී විය හැකි බව හෝ වකුගඩු රෝග නිසා කෙනෙකුට ප්‍රෙෂර් එක ඇති විය හැකි බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. නමුත් සත්‍ය කතාව නම් වකුගඩු රෝගයක් ඇති අයෙකු පහසුවෙන්ම අධි රුධිරපීඩනයට ලක් විය හැකි බවත් අධි රුධිරපීඩනය ඇති වී තිබෙන රෝගීන් වකුගඩු රෝගීන් බවටද පත් විය හැකි බවත්ය. අධි රුධිරපීඩනය ඇතිවෙන්නේ ඇයිද යන්න එවන් අවස්ථාවකදි ඔබට සිතෙනු ඇත. අධි රුධිර පීඩනය ඇතිවන්නේ කිනම් හේතුවක් නිසාද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අතර රෝග ලක්ෂණ නොපෙන්වාම කෙනෙකුට එම තත්ත්වය පැවතිය හැකි නිසා ,තමන්ට කිසියම් ආකාරයක අවදාමක් පවතින්නේ යැයි සැකයක් පවතී නම් හා වෙනත් බෝ නොවන රෝගවලට ගොදුරුව සිටී නම් එවැනි අවස්ථාවලද මේ සම්බන්ධයෙන් අවධානයක් දක්වා පරික්ෂා කරගත යුතු තත්ත්වයකි, අධි රුධිරපීඩනය. මේ හේතුවේ පවතින බහුලතාවය නිසා අප මෙවර සෞඛ්‍ය පිටුව ඒ වෙනුවෙන් යොමු කරන්නට අදහස් කරමු.
අධි රුධිර පීඩනය යනු ඇතැම් විට ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිරුර තුළ සැඟවී සිටිය හැකි රෝග තත්ත්වයකි. එමෙන්ම වකුගඩු රෝගද මුල් අවස්ථාව් රෝග ලක්ෂණ නොපෙන්වා පැවතිය හැකි බැවින් කල් ගතවන තුරුම සැඟවී සිටිය හැකිය. මේ නිසා නිරන්තරයෙන් තම රුධිර පීඩනය සම්බන්ධයෙන් අවධානයක් දක්වන්නෙකුට කළින්ම එවන් රෝග හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවන්නට අවස්ථාවද ලැබෙයි. කිසිවෙකු නොදන්නා නමුත් අධි රුධිරපීඩනය සහ වකුගඩු රෝග අතර පවතින සම්බන්ධය ඉතාමත් ප්‍රභලය. සමහරෙකු අධි රුධිර පීඩනය නිසා වකුගඩු රෝගවලට ගොදුරු වෙන අතර තවත් සමහරු වකුගඩු රෝග නිසා අධි රුධිර පීඩනයට ගොදුරු වෙයි. අධි රුධිරපීඩනය නිසා යම් අයෙකු වකුගඩු රෝගවලට ගොදුරු වූවාද නැතහොත් වකුගඩු රෝග නිසා කෙනෙකු අධි රුධිරපීඩනයට ගොදුරු වූවාද යන්න රෝගියෙකු පරීක්ෂා කිරිමෙන් පමණක් තහවුරු කර ගත නොහැකිය. මේ සඳහා වෛද්‍යවරයා විසින් විවිධ පරික්ෂණ රෝගියාට නිර්දේශ කරනුයේ එය සියුම්ව හඳුනාගන්නටය. නමුත් දැනට ඉතාම බහුලව පවතින්නේ කිසිම හේතුවක් නැතිව නිකම්ම වාගේ මතුවන අධි රුධිරපීඩනයයි. බොහෝ විට මෙම වර්ගයේ අධි රුධිරපීඩනය අවුරුදු හතළිහෙන් පසු ඇතිවන අතර සමහරුන් ඊට අඩු වයස්වලදී පවා මෙම තත්ත්වයට ගොදුරු වූ බව අසන්නට ලැබේ. පරීක්ෂණ අනුව බොහෝ විට වකුගඩු ආශ්‍රිතව පවතින රුධිර නාල වෙනස්කම් අධි රුධිරපීඩනය සහිත රෝගීන්ගෙන් දකින්නට ලැබේ.
විශේෂයෙන්ම රුධිර නාලවල ආස්තරණයන්ගේ තිබෙන ඉතාමත් තුනී පටලයන්ගේ ඇතිවන ඝන වීම් මෙන්ම ගුච්චිකාවල ඇතිවන ඝනවීම්ද මේ අතරින් ප්‍රධානතම ස්ථානයක් ගනී. මේ ආකාරයෙන් කිසියම් අයෙකුගේ රුධිර නාලවල ඇතිවෙන වෙනස්කම් නිසාත්, ගුච්චික පෙරණවල ඇතිවන වෙනස්කම් නිසාත් ඒකාන්තයෙන්ම වකුගඩුවල මූලික කාර්යය වන මුත්‍රා පෙරීම සහ ලවණ නිසි ලෙස සමායෝජනය කිරීම දුර්වලවීමට පුළුවන. තවත් සමහර අවස්ථාවලදී රෝගියාගේ අධි රුධිරපීඩනය වේගයෙන් වැඩි වෙමින් යන විට අප වකුගඩුවල ගුච්චිකා ආශ්‍රිතව තිබෙන කුඩා රුධිර නාලිකාව විවිධාකාරයේ වෙනස්වීම් සහ විවිධ ආකාරයේ තන්තු තැන්පත් වීම් බහුලව දකින්නට ලැබිය හැකිය. යම් ආකාරයකින් රුධිර පීඩනය වැඩි වීම නිසා වකුගඩු බරපතළ ලෙස හානීවීමත් සමගම එම හානිවීම නිසාත් එවැන්නෙකුගේ රුධිරපීඩනය වැඩි විය හැකිය. මෙම කරුණු දෙක විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙමින් රෝගියාගේ අධි රුධිරපීඩනය වැඩි වීම, එක් පසෙකින්ද , රෝගියාගේ වකුගඩු දෙක හානි වීම තවත් පැත්තකින්ද සිදුවෙන්නට පටන් ගනියි. එම නිසා මේ කියන විෂම තත්ත්වයන් කෙසේ හෝ බිඳ දැමීම අනිවාර්යෙන් කළ යුත්තකි. අධි රුධිරපීඩනය ආශ්‍රිතව වකුගඩු රෝගී වී ඇති විට සිදුකරන ප්‍රධානම කාරිය වනුයේ මෙම සම්බන්ධතාව බිඳලීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකසා ගැනීමයි.
වකුගඩු රෝග නිසා අධි රුධිරපීඩනය ඇතිවීම සැබවින්ම යම් පමණක සංකීර්ණ අවස්ථාවකි. වකුගඩු දෙකේම ගැටලු නිසා මෙන්ම එක් වකුගඩුවක ඇතිවී තිබෙන ගැටලු නිසා වුවත් අධි රුධිරපීඩනය ඇතිවිය හැකිය. මෙහිදී විවිධ ආකාරයෙන් වකුගඩුවලට ඇතිවෙන හානි නිසා අධි රුධිරපීඩනය ඇතිවිය හැකියි. විශේෂයෙන්ම වකුගඩුවල පවතින එක්තරා හෝර්මෝන පද්ධතියක් උත්තේජනය වීම නිසා මෙම තත්ත්වය අපට බහුලව දැකිය හැකිය. එහිදී රෙනින් ඇන්ජියෝටෙන්සින් ඇල්ඩොස්ටෙරෝන් පද්ධතිය ලෙස හඳුන්වන හෝමෝන පද්ධතිය ක්‍රියාකාරීවීම නිසා එමගින් අධි රුධිරපීඩනය ඇතිවෙයි. මේ සමගම ලුණු සහ දියර ශරීරයේ එකතුවීම වැඩි වෙන නිසා රුධිර පරිමාව ඉහළ යෑම ද අධි රුධිරපීඩනය ඇතිවීමට බලපෑම් කරයි. මේ අනුව සිතා බැලූ විට වකුගඩු දෙකේම ඇතිවෙන රෝගවලදී මෙලෙස අධි රුධිරපීඩනය ඇතිවීම යම් ප්‍රමාණයකට සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කර අතර මෙහිදී රුධිරපීඩනය පාලනය කිරීම සහා ඉහත සඳහන් කළ පද්ධතිය පාලනය කරන්නා වූ බෙහෙත් වර්ග ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරෙයි.
කෙසේ නමුත් මෙයට අමතරව තනි වකුගඩුවක ගැටලුවක් හේතුවෙන්ද අධි රුධිරපීඩනය ඇති විය හැකිය. විශේෂයෙන්ම වකුගඩුවලට රුධිරය සපයන ප්‍රධාන රුධිර වාහිනියක හෝ වාහිනීවල හෝ ඇති වෙන්නාවූ සිහින්වීමක් නිසා මෙය ඇතිවිය හැකිය. මේ වැනි තත්ත්වයක් කාන්තාවන්ගේ රුධිර නාලවල ඇතිවෙන යම් ආකාරයක අධි වර්ධනයක් නිසාද වැඩිහිටි අයගේ ඇතිවෙන ලේ නහරයන් කොලෙස්ටරෝල්වලින් ඇහිරීම නිසාද ඇතිවිය හැකිය. මේ ආකාරයෙන් අධි රුධිර පීඩනය ඇතිවිට අප ඉහතදී සඳහන් කළ රෙනින් ඇනිජියෝ ටෙන්සින් ඇල්ඩොස්ටෙරෝන් පද්ධතිය අකර්මණ්‍ය කරන්නාවූ ඖෂධ වර්ග ලබාදීම සාමාන්‍ය යෙන් සිදු කරන්නේ නැත. ඒ වෙනුවට වෙනත් බෙහෙත්වර්ග වලින් සහ සමහර අවස්ථාවලදී අවශ්‍යතාව පරිදි රුධිර නාලවල සිහින්වීම සැත්කම් මගින් සකස් කිරීම හෝ ඇන්ජියෝ ප්ලාස්ට් මගින් සකස් කිරීම වැනිදෑ මගින් මෙම රුධිරපීඩනය සමග සටන්කිරීම සිදුකරනු ලබයි.
කුමන හේතුවක් මත අධි රුධිරපීඩනය ඇතිවුවත් එය පාලනය කළ යුතු තත්ත්වයක් බව සිහි තබාගත යුතුය. මන්ද රුධිර පීඩනය වැඩි වීම මනුශ්‍ය ශරීරයේ සාමාන්‍ය තත්ත්වයක් නොවේ. අධි රුධිරපීඩන තත්ත්වයකදී වඩා වැදගත්වනුයේ එය රෝග විනිශ්චයකට ලක්කිරීමය. එනම් රුධිර පීඩනය වැඩිවී තිබෙන විට එම රුධිර පීඩන තත්ත්වයේ වැඩිවීමට හේතුවන වකුගඩු රෝගයක් තිබේද යන්න අවබෝධයක් ලබා ගැනීමය. එෙලස අවබෝධය ලබාගැනීමෙන් අනතුරුව එම වකුගඩුවල ගැටලුකාරී ස්වභාවය හඳුනාගැනීම සහ විවිධ ආකාරයේ පරීක්ෂණ සිදු කිරීම වැදගත්වේ. මෙහිදී සමහර අවස්ථාවලදී වකුගඩුවලින් කොටස් රැගෙන පරීක්ෂා කිරීමද තවත් සමහර අවස්ථාලදී වකුගඩුවල තිබෙන අවහිරතා සහ ආපස්සට මුත්‍රා ගමන් කිරීම පිළිබඳව සොයා බැලීම ආදී විවිධ අවස්ථාවන් අනුව මෙම පරීක්ෂණ සිදුකිරීම කෙරෙනු ඇත. ඒ අනුව විවිධ සුවිශේෂ ස්කෑන් වර්ගද නියම කෙරෙනු ඇති අතර ඩී ටී පී ඒ ස්කෑන් නම් ස්කෑන් වර්ගයද මේ කාලයේ බහුල ලෙස මෙම තත්ත්වයන් නිර්ණය කිරීම සඳහා නියම වන ස්කෑන් පරික්ෂණ විශේෂයකි. මෙවන් විශේෂ පරීක්ෂණ මගින් වකුගඩුවල ක්රියාකාරිත්වයන් පිළිබඳව වඩා නිවැරදි ලෙස අවබෝධ කර ගැනීමෙන් අනතුරුව රෝග විනිශ්චය කිරීමත් එයින් පසු ප්‍රතිකාර සැලසුම් කිරීමත් සිදු කෙරෙනු ඇත.
වකුගඩු සඳහා ප්‍රතිකාර කිරීමත් අධි රුධිරපීඩනය සඳහා ප්‍රතිකාර කිරීමත් මෙහිදී සිදුවෙයි. ඇතමුන් අධි රුධිරපීඩනය සඳහා ලබාදෙන ඖෂධ අතපසු කරන අවස්ථා පැවතිය හැකිය. නමුත් එය ප්‍රතිකාර ක්‍රමවේදය තුළින් නිසි සුවය ලැබීමට බාධාවක් විය හැකිය නියමිත මාත්‍රාව නියමිත කාල පරාසය තුළ නොකඩවා ලබාගන්නට රෝගියා උත්සහ දැරිය යුතු අතර වෛද්‍ය උපදෙස් පරිදි ආහාරයට ලබාගත යුතු නොයුතු දෑ සම්බන්ධයෙන් අවධානය දැක්විය යුතුය. එමෙන්ම හිතුමතයේ ඖෂධ භාවිතය මෙවැනි අයෙකු විසින් කිසිසේත්ම නොකළ යුත්තකි. අපහසුතාවක් ඇතිවෙන විට පමණක් ඖෂධය ලබාගැනිමටත් අපහසුතාව සමනය වන විට බොහෙත් නැවැත්වීම තම අභිමතය පරිදි කරන්නට යෑම වහාම නැවතිය යුතු බවට වග බලා ගන්න. එමෙන්ම ඉක්මනින් සුවයක් ලැබේයැයි සිතු ඖෂධ මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම ද මේ ආකාරයෙන්ම අත්හල යුතු පුරුද්දක් බව අමතක නොකළ යුතුය.
නාලිකා රාජපක්ෂ