චීනය සහ පැන්ඩා සතුන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සබඳතාවකි. චීන පුරවැසියන් චීනය ගැන සිතනුයේ යම්සේද, එලෙසම පැන්ඩාවන් පිළිබඳ සිතන බවට කියමනක් ඇත. චීනයේ පැන්ඩාවන් ගැන කතා කරන්නේ නම්, සිචුවාන් ගැන කතා කළ යුතුමය. මන්ද ඒ තරමටම සිචුවාන් පැන්ඩාවන්ට විශේෂිතය. %පැන්ඩාවන්ගේ මහගෙදර^ ලෙස සිචුවාන් හැඳින්වෙන්නේ ඒ නිසාය. ලෝකයේ වෙසෙන පැන්ඩාවන්ගෙන් සියයට අසූවට ආසන්න ප්‍රතිශතයක් චීනයේ වෙසෙන අතර, චීනයේ සිටින පැන්ඩාවන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රතිශතයක් සිටිනුයේ සිචුවාන්වලය. මේ නිසාම දෙස්විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට ලක් වූ ප්‍රදේශයක් ලෙස සිචුවාන් හැඳින්විය හැකිය.
චීන සාහිත්‍ය තුළද පැන්ඩාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මන්ද චීන සංස්කෘතියෙහි සංකේතයක් ලෙස පැන්ඩාවන් හැඳින්විය හැකිය. ක්‍රිස්තු පූර්ව 1020 ගණන්වල මින්ග් අධිරාජ්‍යයාගේ කාලයේදී පැන්ඩා අදිසි සත්ත්වයෙකු ලෙස සලකා ඇත. එසේම පැන්ඩා චීනයේ අනන්‍යතාව ලෙස සැලකීමට අධිරාජ්‍යයා නැඹුරු වී සිටියේය. මන්ද පැන්ඩා එඩිතර නමුත් සාමකාමී වන අතර, ප්‍රකෝප වුවහොත් කොටියෙකුට වඩා දරුණු සත්ත්වයෙකු බැවිනි.
චීනයේ යාළුමිත්රකම් සඳහන් වන විට චීනය නිතර සංකේතයක් ලෙස සලකන්නේ සුදෝසුදු පසුබිමෙහි කළු පැල්ලම් ඇති අහිංසක පැන්ඩා වලසුන්ය. චීන සංචාරයේ යෙදුණු විට මා ප්‍රිය මිතුරන්ගෙන් ලැබුණු තෑගි අතරද පැන්ඩා අනුරූ සුවිශේෂිතය. එමෙන්ම චීනයේ ගොස් පැන්ඩාවන් නොදුටුවොත් එම සංචාරය ඵලක් නැතැයි කතාවක් තිබේ. මේ හේතුවෙන් පැන්ඩාවන් නැරඹීමට අපිද අමතක නොකළෙමු.
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ පැන්ඩා සංරක්ෂණ අභිජනන මධ්‍යස්ථානය මෙම සංචාරයේ සුවිශේෂී තැනක් ගත්තේය. එම මධ්‍යස්ථානය අක්කර 600ක් පමණ පුරා විහිදී ඇත. මෙම සංරක්ෂණ මධ්‍යස්ථානයට දිනකට දසදහස් ගණනින් සංචාරකයෝ පැමිණෙති. නමුත් එහි විශේෂත්වය වනුයේ දසදහස් ගණනින් සංචාරකයන් පැමිණියද, මෙම භූමිය ඉතා සන්සුන් මෙන්ම ඉතා පිරිසුදු මට්ටමින් පවත්වාගෙන යෑමය. පරිසරය ගැන අවධානය යොමු කළහොත් මුළු මධ්‍යස්ථානයම හරිත උණ පඳුරුවලින් පිරී පවතී. මෙම සතුන් ග්රීෂ්මයට අකැමැති නිසා පරිසරය ඔවුන්ට සුදුසු පරිදි තනා ඇති අතර, තැන තැන කුඩා දිය කඩිති වෙයි. පැන්ඩාවන්ගේ ආහාරය වන උණගස් වනාන්තරය, උන්ට තැනූ නිවාස, උද්‍යානය තුළ පැන්ඩාවන්ට සුදුසු පරිසරයක් නිර්මාණ වීමට දායක වී තිබේ. අක්කර හයසියයක් පමණ වන මෙම භූමිභාගය එක් දවසකින් නරඹා නිම කළ නොහැකිය. එබැවින් සම්පූර්ණ කලාපයම බැලීමට විදුලිය බලයෙන් ධාවනය වන වාහනයක් ඇණවුම් කිරීමේ හැකියාව තිබේ.
අද වන විට පැන්ඩාවන් කෙමෙන් වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇත. දැනට ලෝකයේ වාසය කරනුයේ දෙදහසකටත් අඩු පැන්ඩාවන් සංඛ්‍යාවකි. මෙම තර්ජනය පිළිබඳ වටහා ගෙන ඇති චීනය, පැන්ඩාවන් සුරැකීම සඳහා නිසි පියවර ගෙන තිබේ. 1957 තරම් කාලයක සිට මෙම සත්ත්වයා සුරැකීමේ ක්‍රමවේදයන්ට පැමිණි ඔවුන්, එය ක්‍රමවත් බවකට පත්කරනුයේ 1980 දශකයේදීය. ඒ චීනයේ, සිචුවාන් පළාතේ, චෙන්දු නගරයේ පැන්ඩාවන් අභිජනන හා සංරක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීම හරහාය. අද ජීවත් වන පැන්ඩා වලසුන්ගෙන් සියයට අසූවක් පමණ වෙසෙනුයේ චෙන්ඩු පැන්ඩා පර්යේෂණ හා අභිජනන මධ්‍යස්ථානයේය. නගරයේ සිට සැතපුම් හයක් දුරින් පිහිටි මෙම මධ්‍යස්ථානය චීන රජයේ ආධාරයෙන් නඩත්තු වන ලාභ නොලබන ව්‍යවසායකයෙකි.
1980 දී පැන්ඩාවන් හය දෙනෙකුගෙන් අරඹන මෙම පරිසර හා සත්ත්ව ආරක්ෂණ ආදර්ශන ව්‍යාපෘතිය අද වන විට මහාපරිමාණ ව්‍යාපෘතියක් වී හමාරය. සැබැවින්ම එය දැන් පැන්ඩාවන්ගේ ජනපදයක් කිවහොත් නිවැරදිය. එහි මේ වන විට පැන්ඩා සතුන් 184 දෙනෙක් පමණ වාසය කරති. මෙම සංරක්ෂණ මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩාවන් මෙන්ම රතු පැන්ඩාවන්ද දක්නට ලැබීම විශේෂත්වයකි. රතු පැන්ඩා ඉතා කුඩා සතෙකි. වැඩුණු රතු පැන්ඩාවෙකුගේ බර කිලෝ 12ක් පමණ වෙයි. බැලූ බැල්මට බළලෙකුගේ ස්වභාවය ගනී. දිගැටි වලිගයකි. තරමක් දිගු සිහින් කන්‍ය. නමුත් වැඩුණු යෝධ පැන්ඩාවෙකුගේ බර කිලෝ 150ක් දක්වාද විය හැකිය. උද්‍යාන පාලකයන්ගේ තොරතුරු අනුව මෙහි සිටින විශාලතම පැන්ඩාගේ බර කිලෝග්‍රෑම් 188ක් පමණ වේ.
එමෙන්ම අද වන විට මෙම පැන්ඩාවන් හේතුවෙන් චීනය සංචාරක ව්‍යාපාරයේ ප්‍රබල මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. ඒ හරහා චීනයේ එම ප්‍රදේශයේ වැසියන් ස්වයං රැකියා සඳහා යොමුව ඇති අතර, ඒ පැන්ඩාවන්ගේ අනුරූ, ඇඳුම් පැලඳුම් මෙන්ම විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සිදු වෙයි.
එමෙන්ම එම ප්‍රදේශයේ නගර අලංකරණය සඳහාද පැන්ඩා අනුරූ යොදා ගැනීම විශේෂත්වයකි. එය සිචුවාන් අනෙක් ප්‍රාන්තවලින් වෙන්කර හඳුනා ගන්නා සුවිශේෂී ලක්ෂණයක් යැයි කිව හැකිය.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි