ශ්‍රී ලංකාව තුළ කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් තවමත් සැකසී නොමැති නිසා කසළ රටටම ප්‍රශ්නයක් වී තිබේ. නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් කසළ සම්පතක් බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින් පවසා ඇත. එසේ වුවද ශ්‍රී ලංකාවේ පිරිසක් කසළ සම්පතක් කරගෙන ඇත්තේ එය කළමනාකරණය කිරීමෙන් නොව කසළ ප්රශ්නය උග්‍ර කරමිනි. මේ ලිපියෙන් කතාබහ කරන්නේ ඒ පිළිබඳවයි.
දිනකට බැහැරවන කසළ
ශ්‍රී ලංකාවේ දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 9810.93ක් ජනනය වන අතර, වාර්ෂිකව එම ප්‍රමාණය ටොන් 3,531,934.8කි. එසේ එක්වන කසළවලින් එක්රැස් කරන්නේ තුනෙන් දෙකක ප්‍රමාණයක් බව ගණන් බලා ඇති අතර, දිනකට එක්රැස් කරන කසළ ප්‍රමාණය ටොන් 3767.11කි. මෙම කසළ ප්‍රමාණය අතරින් දිනකට බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 400කි. දිනෙන් දින මෙම ප්‍රමාණය ඉහළ යමින් පවතියි.
කසළ සම්බන්ධයෙන් වගකීම් දරන ආයතන
මෙලෙස දිනෙන් දින එක්වන කසළ බැහැර කිරීමේ වගකීම දරන ආයතන කිහිපයක් ඇති අතර, කසළ කළමනාකරණයේ ප්‍රධාන හා මූලිකම බලතල ඇත්තේ පළාත් පාලන ආයතන සතුවය.
ඊට අමතරව පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍ර පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආදී ආයතන සෙසු වගකීම් දරන ආයතන වේ.
කසළ කළමනාකරණයට අමතරව මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටද සූදානම් වෙමින් සිටියි.
පළාත් පාලන නියෝජිතයන් සහ කසළ කළමනාකරණය
දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසළ ගැටලු විසඳීමට අවශ්‍ය තාක්ෂණය සහ සහය ලබාගැනීමට පළාත්පාලන නියෝජිතයන් සහ මධ්‍යම රජයේ නියෝජිතයන් දේශීය මෙන්ම විදේශීයවද පුහුණුවීම්වලට එක්ව ඇත. එලෙස 2010 වසරේ සිට 2019 වසර දක්වා වසර 10ක කාලයක් පුරාවට ඔවුන් ශ්‍රී ලංකාවේ කසළ ප්රශ්නය විසඳීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් සහ පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තාවල ඇති කරුණු අනුව කසළ කළමනාකරණය වෙනුවෙන් විදෙස්ගත වී ඇති පළාත් පාලන නියෝජිතයන් ගණන 335කි. ඒ සඳහා වියදම් වී ඇති ප්‍රමාණය රුපියල් 60,620,351.06කි.
මධ්‍යම රජය සම්බන්ධව
කැළි කසළ සම්බන්ධයෙන් තීරණ ගන්නා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඇති අතර, විදෙස් සංචාරයකට සහභාගිවීමෙන් පසුව එම නිලධාරීන්ගේ දැනුම අමාත්‍යාංශයට යොදාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලබා දීවාර්තාවක මෙසේ සඳහන්ව තිබුණි.
විදෙස් සංචාරය අවසන් වීමෙන් පසුව එම සංචාරයට සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ගෙන් සංචාරය පිළිබඳ වාර්තාවක් ලබාගෙන අමාත්‍යාංශයට අදාළව ප්‍රතිපත්තිමය හා කළමනාකරණ තීරණ ගැනීමට හැකි වන පරිදි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට යොමු කිරීම. විදෙස් සංචාරවලට සහභාගී වූ නිලධාරීන් වරින්වර කැඳවා ඔවුන් සහභාගී වූ වැඩමුළුවලදී ලබාගත් දැනුම හා අත්දැකීම් රාජකාරී කටයුතුවලදී භාවිතකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම, කැළි කසළ කළමනාකරණයට අදාළ වගකිවයුතු ආයතන නියාමනය කිරීම හා එම ආයතනවලට අවශ්‍ය මාර්ගෝපදේශන හා මඟපෙන්වීම් ලබාදීමේ කටයුතු ලබාගැනීම ආදිය සඳහන් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය
ඒ අනුව 2010 වසරේ සිට 2019 වසර දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, අධ්යක්ෂ ජනරාල් තනතුරු හෙබ වූ පුද්ගලයන් මෙන්ම අනෙකුත් නිලධාරීන්ද මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ද කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ රටවල්වල සංචාර සඳහා එක්ව තිබේ.
ඒ අනුව මෙම කාලය තුළ නිලධාරීන් 84දෙනෙකු විවිධ අවස්ථාවලදී විවිධ රටවල් සඳහා 84 වාරයක් ගොස් ඇත. ඒ සඳහා වියදම් වී ඇති මුදල රුපියල් 5,882,241.07කි.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 2010 සිට 2019 දක්වා එක් අවස්ථාවකදී එක් නිලධාරියෙකු ඇමරිකාවේ සංචරයක් සඳහා එක්කර ඇත. ඒ සඳහා රුපියල් 135,261.75ක මුදලක් වියදම් වී ඇත.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
2010 සිට 2019 දක්වා කාලය තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් 05දෙනෙකු ඉන්දියාව, කෙන්යාව, ඉන්දුනීසියාව, තායිලන්තය යන රටවලට අවස්ථා 05කදී විදෙස් සංචාර සඳහා සහභාගී වී ඇති අතර, ඒ සඳහා රජය වියදම් කර නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. මෙම සංචාර සියල්ල සඳහාම ජාත්‍යන්තර පරිසර සංවිධානවල අනුග්‍රහය ලැබූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
2010 වර්ෂයේ සිට 2019 වසර දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා සම්බන්ධ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන්වලට සහභාගී වූ පළාත්පාලන නියෝජිතයන්ගේ තොරතුරු මෙසේය.
කසළ සම්පතක් වීම
තොරතුරු පනත ආශ්රයෙන් සහ පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තා ආදිය සලකා බැලීමෙන් පසුව මෙම තොරතුරු ප්‍රමාණය එක්රැස් කරගත් අතර, ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය වෙනුවෙන් වසර 10ක් තුළ දැවැන්ත ලෙස මහජන මුදල් වෙන්කර ඇති බව පැහැදිලිය. මෙහිදී සලකා බලා ඇත්තේ විදෙස් සංචාරවලට වෙන් කළ මුදල පමණකි. ඒ සියල්ල සිදුකළද කසළ තවමත් රටට දැවැන්ත ප්‍රශ්නයක් වී ඇත. ඒ අනුව කසළ සම්පතක් වී ඇත්තේ කාටද යන්න මේ වනවිට පැහැදිලිව අනාවරණය වී හමාරය.
අසාර්ථකභාවය
මෙලෙස විදෙස් සංචාරවලට සහභාගිවීමෙන් පසුව ඇතැම් පළාත් පාලන ආයතන තුළ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් යම් යම් ව්‍යාපෘති ආරම්භකර තිබුණද ඒවා බෝහොමයක් සතුටුවිය හැකි මට්ටමේ නොමැත. එමෙන්ම ඇතැම් පළාත් පාලන ආයතනවල කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැත.
මේ අනුව මහජන මුදල් වියදම් කරමින් විදේශ රටවලට දින ගණන් ගොස් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීමෙන් මහජන මුදල් දැඩි ලෙස අපතේ යවා තිබේ.
එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පොලිතීන් ප්ලාස්ටික් භාවිතය සීඝ්‍රව වැඩිවෙමින් පවතින අතර, මේ හේතුවෙන් නොදිරන අපද්‍රව්‍ය/ කසළ ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතී.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන කසළ බැහැර කිරීමේ සාර්ථක නිවැරදි ක්‍රමවේදයන් හඳුන්වා දීමට හෝ මෙම පළාත් පාලන ආයතන කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. ඇතැම් පළාත් පාලන ආයතන එවැනි ව්‍යාපෘති ආරම්භ කළද ඒවා අතරමග නැවතී තිබේ.
මේ සියල්ල හේතුවෙන් මේ වනවිට රටපුරා කුණු කඳු රාශියක් නිර්මාණය වී තිබේ. තෙත්බිම්වලට කසළ ගොස් දැමීමට පළාත් පාලන ආයතන පුරුදු වී ඇති බැවින් තෙත් බිම් සහ වනාන්තරද ක්‍රමයෙන් විනාශයට යමින් තිබේ.
මේ සියල්ල සම්බන්ධයෙන් පාලකයාගේ ඇස් ඇරීමට කාලය එළඹී ඇති අතර, මහජනතාවද මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කාලය එළඹී තිබේ. කසළ ප්රශ්නය හේතුවෙන් අනාගතයේදී දැවැන්ත ප්‍රශ්න රාශියකට මුහුණ දෙනතුරුම ශ්‍රී ලංකාව බලා සිටිනවාද, නොඑසේ නම් පාලකයන් සහ ජනතාව සියල්ලම මේ වෙනුවෙන් පෙරට එනවාද යන්න තීරණය කිරීමට හොඳම කාලය එළඹී තිබේ.