දෙරණ සන්සිල්ක් සිනමා රාත්රියේදී කොට උඩ එක්ස්ප්‍රස් චිත්‍රපටයේ හාස්‍ය උත්පාදකයාට හිමි සම්මානය දිනාගැනීමට ටෙනිසන් කුරේට අවස්ථාව උදා වුණි. හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙකු ඇගයූ පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කරනු ලැබීය. එම කාරණාව පිළිබඳව සහ ඔහුට ලැබුණු සම්මානය පිළිබඳව කතාබහ කිරීමට අද ටෙනිසන් කුරේ සමග මෙලෙස එක්විය.
මුලින්ම කිව්වොත් ලැබුණු සම්මානය ගැන?
ශ්‍රී ලංකාවේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පීන්ට සම්මාන දෙන සිරිතක් නැහැ. මම හිතන්නේ දෙරණ නාළිකාව ඉතිහාසගත වෙයි හාස්‍ය උත්පාදක ශිල්පියෙක්ට සම්මානයක් දුන්න එකට.
ලංකාවේ හාස්‍ය රංගන ශිල්පීන් ඇගයීමක් මීට පෙර සිදුවෙලා නැද්ද?
ඇත්තටම ලංකාවේ හාස්‍ය රංගන ශිල්පීන් අගය කිරීම නම් මම මීට කලින් දැකලා නැහැ. නමුත් මම අහලා තියෙනවා ෆ්‍රෙඩී සිල්වා මහත්තයා එකපාරක් කිව්වා එංගලන්තයේ මහ රැජින ලංකාවට පැමිණි අවස්ථාවක එඩී ජයමාන්න මහතාට %සර්^ නාමයක් ප්රදානය කරාලු. ඒ කියන්නේ එතුමාව විශේෂ පුද්ගලයෙක් ලෙස නම් කරාලු. ඊට පස්සේ එකම එක පාරක් සම්මාන උළෙලකදී ෆ්‍රෙඩී අයියාට සම්මානයක් දීලා තියෙනවා. නමුත් මේ පහුගිය කාල වකවානුවටම මේ වගේ සම්මානයක් දීල නැහැ. හුඟාක් දෙනා කියන විදිහට ලංකාවේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ දුන් පළවෙනි සම්මානය තමයි මේක. මම දන්නෙ නැහැ ලංකාවේ මෙහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ ඇයි කියලා. අපි ගත්තොත් චාලි චැප්ලින්ව, ඔහු ලෝකයේ බිහිවුණු හොඳම හාස්‍යෝත්පාදක නළුවෙක්. අද ඇකඩමි එවෝර්ඩ් පවා තියෙනවා චාලි චැප්ලින්ගේ නමින්. එයා කළේ නිකන් ලිස්සලා වැටිලා, තොප්පිය උඩ දාලා මිනිස්සු හිනස්සපු එක නෙවෙයි. එයාගේ රංගනය තුළ විශාල දෙයක් ගැබ්වෙලා තිබුණා. චාලි චැප්ලින් කියන්නේ හිට්ලර්ව පවා හාස්‍ය මගින් උපහාසයට ලක්කරපු කෙනෙක්. ඉතින් ඒ කාලේ ඒ වගේ සමාජ මෙහෙවරක යෙදෙන්නටත් හාස්‍ය රංගන ශිල්පීන්ට හැකියාව ලැබුණා. මට මතකයි ඒ කාලේ ආවා One Flew Over the Cuckoo's Nest කියලා හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. පිස්සන් කොටුවකින් පැනලා ආපු පිස්සො ටිකකගේ කතාවක්. ඒකට ඇකඩමි එවෝර්ඩ් පහක්ද කොහෙද ඒ කාලේ ලැබුණා. අපේ ලංකාවේ ඒ වගේ එකක් කළොත් පිස්සු කෙළිනවා, පිස්සු පොරවල් කියලා අපිට බණිනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
අපේ හාස්‍ය උත්පාදක ශිල්පීන්ට තැනක් නැද්ද?
අපේ රටේ අය ඔය මිස්ටර් බීන්, ලොරල් ඇන්ඩි රාඩි වගේ අයව අගය කර කර ඉන්නවා මිසක් අපේ රටේ අයව අගය කරන සිරිතක් තිබුණේ නැහැ. %රෑ දනියෙල් දවල් මිගෙල්^ හොඳට දුවපු කාලේ අපේ සමහර අය පත්තරවලට කියලා තිබුණා චාලි චැප්ලින්ලා එක්ක අපේ අයට හැරෙන්න පුළුවන්ද කියලා. අපේ විනිශ්චය මණ්ඩලවල ගොඩක් අය සැදී පැහැදී ඉන්නේ හාස්‍යය පැත්තේ රංගනයන් අගය නොකරන්න. එයාලා බලාගෙන ඉන්නේ කලාත්මක සිනමාවට විතරක් සම්මාන දෙන්න. දරිද්‍රතාව, ජාති - භේද ප්‍රශ්න තියෙන චිත්‍රපටවලට තමයි සම්මාන වැඩියෙන් ලැබෙන්නේ. ඒත් ඉතින් විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ට කරන්න දේකුත් නැහැ. මට එකපාරක් සාදයකදී හම්බවුණා රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ විනිසුරුවරයෙක්. එතුමා කිව්වා &අපි විනිශ්චය කරන්න චිත්‍රපට බලද්දී ඔයා රඟපාපු චිත්‍රපට කිහිපයකුත් බැලුවා. හිනාවෙලා අපි හොඳට සන්තෝස වුණා. ඒත් මොනවා කරන්නද කියලා. ඒත් මොනවා කරන්නද කියලා කියපු එකෙන්ම තේරෙනවනේ. ඒ අයටත් යම්කිසි බලපෑමක් ඇති ඉතින්. සාමාන්‍ය පොදු ජනතාව බොහෝම ආස කරන දෙයක් තමයි හාස්‍යය කියන්නේ. පහුගිය කාලේ මම සහභාගී වුණු ගොඩක් උත්සවවලට එන අය මගෙන් අහනවා අයියේ ඔයාලට මුකුත් සම්මානයක් නැහැ නේද කියලා. ඉතින් මිනිස්සුත් ආසයි අපිට සම්මාන ලැබෙනවාට.
ලැබුණු සම්මානය ගැන සතුටුද?
මේ සම්මානය ලැබුණු එක ගැන මට සතුටුයි. කෙසේ වෙතත් මේ ලැබුණු සම්මානයෙන් කියන්න පුළුවන් ඉදිරි සම්මාන උළෙලයන් හිදී මගේ සහෝදර හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන්ව යම්කිසි අගයකිරීමකට ලක් වෙයි කියලා. මම මෙතනදි විනිශ්චය මණ්ඩලවලට දොස් කියනවා නෙවෙයි. මම ඇසුරු කරන ගොඩක් ප්රභූවරු කියනවා &ටෙනී අපි ඔයාගේ වැඩ හරි ආසාවෙන් බලනවා* කියලා. සාමාන්‍ය ජනතාවත් එහෙමයි. ඉතින් ඒ සම්මානය මට හැමදාමත් තිබුණා. මේ වගේ සිනමා ශිල්පීන් පිරිලා ඉන්න තැනක ඒ ලැබුණු අගය කිරීම වටිනවා. ඉතින් මෙච්චර කාලයක් ඉඳලා ඒ කරපු අගය කිරීමට මම දෙරණට විශේෂ ස්තූතියක් පුද කරනවා. කවුරුත් මේ වගේ දෙයක් කරපු නැති වෙලාවක මේ කරපු දේ ඉතා වටිනවා. මේ ලැබුණු සම්මානය සියලුම හාස්‍ය රංගන ශිල්පීන්ට උපහාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ අගයකිරීම් ඉදිරියටත් වෙයි කියලා හිතෙනවාද?
ගොඩක් වෙලාවට ඔය කලාත්මක සිනමා නිර්මාණවලට සම්මාන දෙන ලොකු අය කැමති නැහැ හාස්‍ය රංගන ශිල්පීන්ව අගයලා ඔවුන් ඉස්සරහට එනවට. මම ඇස් දෙකට දැකලා තියෙනවා අපි සමහර වෙලාවට කිව්වාම හාස්‍ය රංගන ශිල්පීන්ව අගයන්න මොනවා හරි කරන්න කියලා, එයාලා කියනවා &කවුද බං කොමික්කාරයන්ට සම්මාන දෙන්නේ* කියලා. එහෙම කියලා අපිව බාල්දු කරපු අවස්ථාත් තියෙනවා. නමුත් ජනතාව ළඟට ගියාම පේනවා එයාලා කොච්චර අපිට ආදරය කරනවද කියලා. මේ එවොර්ඩ් එකෙන් පස්සේ මගේ ෆේස්බුක් එකට එන මැසේජ් දැක්කම හිතෙනවා මට මේ රටේ මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා. නමුත් සමහර අවස්ථාවලදි ඇහෙනවා අපිව පල්ලෙහාට දාලා කතා කරන ඒවා. හාස්‍යයේ තියෙන වැදගත්කම නෙවෙයි හාස්‍යය හෑල්ලු කිරීම තමයි කරන්නේ. දැන් ඔබ කිව්වා වගේ සමහරවිට මින් ඉදිරියට මේක ආන්දෝලනයක් වෙයි.
සම්මාන උළෙලේදී ඔබ පොතක කොටසක් ගැන කිව්වා?
ඇත්තටම ඒක මම චිත්‍රපට ගැන කලකිරිලා ඉන්නකොට අපේ තාත්තා මට කිව්ව දෙයක්. පොතක් පෙරළලා, 1611 ලියපු ශේක්පියර්ගේ King Lear කියන පොතෙන් කොටසක් කිව්වා. වැරහැලි ඇඳ ගත් කල සුළු වැරදි පවා පෙනෙයි. සළුපිළි ආභරණවලින් සැරසුණු කල සියල්ල වැසෙයි. අපරාධය සහ පාපය රනින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදැනී දෙකඩ වේ. නමුත් එය වැරහැලිෙවලින් වෙළු කල අහිකුණ්ඨිකයාගේ සැරයටියටත් සිදුවේ. ඕක කොච්චර සර්වකාලීනව කිව්වද කියලා හිතල බලන්න.