ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය අතික්‍රමණය කළ අතිශය ප්‍රවීණ යැයි කිව හැකි තරමේ සංගීතඥයන් සිටින්නේ අතිශයින්ම සීමිත ප්රමාණයකි. එවැන්නන් අතර අතීත සිනමා සංගීතය ශ්‍රී ලංකාවට අනන්‍ය මාවතක ගෙන ගිය ඔහු නමින් සරත් දසනායකය. දහස් ගණනක් තනු ලියූ ඔහු වෙනුවෙන් පසුගිය දිනෙක ඔහුගේ පුත් රංග දසනායකයන් හා එක්ව සරසවි ප්‍රකාශකයෝ අතිශයින් වටිනා කර්තව්‍යයක නියැලුණේය.සරා සඳක් වෙනුවෙන් 'සරාසඳේ' යැයි සිහිවටන කෘතියක් ලියූ ඔවුහු එහි සරත් දසනායකයන්ගේ අතීත සැමරුම් රැසක් ඇතුළත් කර තිබුණි. ඒ අනුව ඔහු පිළිබඳ සටහන් පුවත්පත් ලිපි හා ඔහුගේ අතීත සම්මුඛ සාකච්ඡා ද මෙහි අන්තර්ගතය. එහි දී සරසවි ප්‍රකාශකයන් වෙනුවෙන් ඒ සදහා සම්පාදන දායකත්වය දක්වන්නේ පියසේන වික්‍රමගේ විසිනි. සරසවි ප්රකාශකයන්ටද තුති පුදමින් මෙහි උපුටා දක්වන්නේ පියසේන වික්‍රමගේ විසින් තබන ලද සටහනකි. (ලිපිය තුළ ලිපි මාලාව යැයි දැක්වෙන්නේ සරා සඳේ කෘතිය තුළ අඩංගු සම්මුඛ සාකච්ඡා සම්බන්ධයෙනි.)
අද වැනිය එදත්... කටු කොහොළින් මිදී සරත් දසනායක නම් පෙරටුගාමී (avant-garde) සංගීතවේදියා සිනමා සංගීත නිර්මාණ කාර්යයට පිවිසෙන්නේය. ඒ 1969 දීය. ඉන් අනතුරුව ගෙවෙන හැත්තෑව - අසූව - අනූව දශක තුන පුරාම සිංහල යන විශේෂණ පදයෙන් හඳුන්වන සිංහල චිත්‍රපටයේ එක් සුවිශේෂ දායකත්වයක් දරන්නේ සරත් දසනායක නම් සංගීතවේදියාය. කෙනෙකුට ඔහු මිහිරි ගී තනු නිර්මාණයෙන් සිංහල චිත්‍රපටයේ එක් ආකර්ෂණීය බල ශක්තියක් උත්පාදනය කළ සංගීතවේදියෙක් වෙයි. තවත් මතකයට අනුව ඔහු සිංහල ජන ගීයෙන්, රාගධාරී සංගීතයෙන් සම්මිශ්රිත නව ගිත ආරක් බිහි කළ පුරෝගාමියෙකි. ඇතැමෙක් සරත් දසනායක ගී නිර්මාණය කන පිනවන, රස නංවන, සුමියුරු ගී නර්මාණකරුවෙකු ලෙස පමණක් හුවා දක්වනන්ට වෙහෙසෙති. තවත් අයට සරත් දසනායක සිනමා සංගීතය පිළිබඳ කිසිදු ඇගයීමක් නොකළේ ඇයිද යන්න පැනයකි.
චිත්‍රපට ගීය උතුරු / දකුණු ඉන්දීය චිත්‍රපට ආභාසයේ එක් ඍජු ඵලයකි. චිත්‍රපට ගීය විනෝදය ජනනය කරන එක් ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ඉන්දීය සිනමාකරුවෝ සලකති. ඊට ප්‍රති-පක්ෂ පෙරටුගාමී (avant-garde) සංගීතඥයෝද, සිනමාකරුවෝද වෙති. සත්‍යජිත් රායි හා රවි ශංකර් ප්රමුඛ අපූර් චිත්‍රපට ත්‍රිත්වය මනා නිදසුනකි. ශ්‍රී ලංකාවේද විනෝදාත්මක (entertainment) චිත්‍රපට ආරම්භක යුගයේ චිත්‍රපට ගී අටක්, දහයක්, දොළසක් තරම් ගී රුවා ලූ අවස්ථාද දක්නට ලැබෙයි. පසු කල ගී දෙක - තුන දක්වා සීමිත වී ඊටත් පසුව එක් තේමා ගීයකින් සෑහීමකට පත් වූ කාලවකවානුද ඇති විය.
ශ්‍රී ලංකාවේ හැමදේම අවුල් සහගතය. විනෝදාත්මක සිනමාව, ඉන්දියාවේ අද එහි උපරිම මට්ටම දක්වා වර්ධනය වූ ලෝක සිනමා ප්රපංචයකි. කැමති වුවත්, නැතත් ඉන්දීය සිනමා සංගීතයේ විශේෂයෙන් විනෝදාත්මක සිනමාවේ එක් ප්රමුඛස්ථානයක් චිත්‍රපට ගීයට හිමි වෙයි. ගී රූ ගැන්වීම ඉන්දීය භූමිය පමණක් නොව, බටහිර දියුණු විවිධ රටවල ලෝක ප්‍රකට භූමිභාග පවා උපයෝගී කර ගැනේ. වඩාත් ආකර්ෂණීය ගී හඬ සමව, දර්ශන තලද සිනමා රසික සිත් මන්මත් කරවයි.
සරත් දසනායක සපුරාලන්නේ සිංහල චිත්‍රපට ගීතයේ මේ රික්තයයි. (වරෙක මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂවරිය, සරත් දසනායක නිමැ වූ ගී දෙකක්ම රූගත කරන්නේ ඉන්දීය දර්ශන තල දෙකකදීය. ටජ්මහල් මන්දිරය හා බුද්ධ ගයාව මේ දර්ශන තල වේ.)සිනමාලෝලීන් චිත්‍රපට ගීයට දක්වන මේ ගී ලෝලත්වය, මූලිකව ඉන්දීය උරුමයෙන් ශ්‍රී ලාංකේය චිත්‍රපටයට හිමි වූවකි. හැබැයි ඉන්දීය චිත්‍රපට ගී දෙමළ වේවා-හින්දි වේවා එදත් අදත් ඒ ආකර්ෂණීය ගුණයෙන් වැඩිදියුණු වූවා මිස, අල්ප මාත්‍රයකින් සිනමාලෝලීත්වයට මදි පාඩු නොකළේය.
සරත් දසනායක, සිංහල සිනමා සංගීතයේදී බොහෝ කඩුලු ජය ගත්තේය. සිංහල ගීය කනට මිහිර රසාලිප්ත, මතකයේ නින්නාද වන නව නාද රටාවකට හුරු කරගන්නට තිබිණ. රජයේ කලායතනයෙන් බිහි වූ වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ, නන්දා මාලිනී සහ සුජාතා අත්තනායක පමණක් නොව, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, අබේවර්ධන බාලසූරිය, ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ බඳු විශාල ගායන සම්පත්ද සරත් දසනායක සතුවීම ඔහුගේ මූලාරම්භක යුගයේ විශාල පිටුවහලක් පළ කළ බවට අමුතුවෙන් කිව යුතු නැත. එමෙන් නව්‍ය වූ මෙන්ම ප්‍රවීණ වාද්‍ය වෘන්දද ඔහු සතු විය.
ඔහුගේ අදහස් සහිත චින්තාවලිය විමසා - විශ්ලේෂණය කරන කල්හි, ශබ්දාගාරවල තිබූ අවම පහසුකම් හා තාක්ෂණික දෝෂ හේතුවෙන් වූ වස් දොස් දක්නට ලැබෙයි. මුල් සංගීත නිර්මාණ ශබ්දාගාරයේදීත්, සිනමාහලේදීත් අත්කර ගත් ඵලය සරත් දසනායක පුන පුනා සඳහන් කර තිබේ.
මේ සියල්ල මධ්‍ය‘යේ ඔහු අත්කර ගත් සිනමාලෝලීන්ගේ ජන ප්‍රසාදය, ඇතැමුන් අවඥාවෙන් බැහැර කරලීමේ හේතුවෙන් අත්විඳි සිත් වේදනාද සරත් දසනායක චින්තාවලියේ ප්‍රකාශිත ඇතැම් කියුම්වලින් මනාව ප්‍රකට වෙයි. හොඳම ගායන ශිල්පියා සහ හොඳම ගේය පද රචකයාට විවිධ සිනමා සම්මාන උලෙළවල සම්මාන පිදුවත්, නාද මාලා - තනු - සංගීත සංයෝජනය කරන සංගීතවේදියාට සම්මානයක් පිරිනැමීමක් නොකිරීම සරත් දසනායක මහත් සිත් තැවුලෙන් සඳහන් කරන්නකි. (එක්ටැම් ගේ මීට නිදසුනකි) එමෙන් සම්මාන උදෙසා විශේෂයෙන් සලකා නිර්දේශ කරනු ඇතැයි අපේක්ෂා කළ චිත්‍රපට ප්‍රදර්ශිත කාලයන්හිදී සිනමා සම්මාන උලෙළ නොපැවතීම පිළිබඳවද සරත් දසනායක සංගීතවේදියා තම කනස්සල්ල පළ කර ඇත.
සරත් දසනායකගේ පුවත්පත් සාකච්ඡා හා විශේෂාංග අතර එකද ඉංග්‍රීසි භාෂීය ලේඛකයෙක් අපට හමු නොවීය. පුවත්පත් කලාවේදීන් අතර විද්‍යුත් මාධ්‍යවේදීන් අතර, මේ මහා සංගීතවේදියා කළ සම්මුඛ සාකච්ඡාවක් නොදුටිමු. නොඇසුවෙමු. අපට වඩා මේ මහා සංගීතවේදියා කොතෙක් නම් සිත් තැවුලට පත් වන්නට ඇත්දැයි සිතාගැනීම උගහටය.
අනෙක ඒකපාර්ශ්වීය හුවා දැක්වීම් තුළ සරත් දසනායක සංගීතවේදියා කිසිදු පාර්ශ්වයකට අයත් නොවූ ස්වාධීන කලාකරුවෙකු ලෙස ක්‍රියා කිරීම ඊට හේතුව වීද? සරත් දසනායක කලාකරුවා නොසෙල් වී සිටියේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් විය හැකිය. සිය චිත්‍රපටයේ රූ ගැන්වීම් අවසන් කර පැමිණි කල්හි කැලෑ පත්තරයකින් කළ ගැරහීමක්ද මේ චින්තාවලියේදී සරත් දසනායක හෙළි කරයි. මෙවන් විවිධ සිත් රිදවීම් කළෝ කවරක් අපේක්ෂා කළද සරත් දසනායක එයින් තවත් නොනැවතී ඉදිරියටම ගිය බව නම් සහතිකය.
සිනමා සංගීතය පිළිබඳ සාකච්ඡාවන්ට වඩා සරත් දසනායක සංගීතවේදියා වෙතින් බොහෝ කොට චිත්‍රපට ගීයට - සරල ගීයට ලඝු වූ සාකච්ඡා පැවති බව පෙනී යන්නකි. මේ සංගීතවේදියාගේ ජන හදට සමීප වූ ගීතය නම් සංගීතාංගය, ඊට බොහෝ විට බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
සංගීතවේදියෙකු වීමේ අභිලාෂයට මුලින්ම අත හිත පෑ හේවගේ ප්‍රේමදාස ගුරුතුමාගේ පටන් හැම දෙයකදීම හැමවිටම අත හිත පෑ හැම දෙනා සරත් දසනායක සංගීතවේදියා හෙළි කරන්නේ ඉතා නිරහංකාරවය.
ජීවිතයේ මුල් කාලයේ විඳි කුදු මහත් හැම අත්දැකීමක්ම, කළ ක්‍රියාවක්ම, සිතූ සිතුවිල්ලක්ම සරත් දසනායක හෙළි කරන්නේ සඟවා තැබූ කිසිත් නැතියෙකු විලසිනි. වෙනකක් තබා පාතාල භෛරවී නම් දෙමළ චිත්‍රපටය නරඹා (මෙහි ප්‍රධාන නළුවා පසු කළ තෙළිඟු දේශ මහ ඇමති ඇන්.ටී. රාමරාඕය) පාර දෙපස රබර් වතුවලින් ගහන පාළු මණ්ඩියකදී, සීනු හඬක් සහ දැල්වෙන එළියක් දැකීමෙන් ඇති වූ භීතිය පවා විස්තර කරන්නේ දැනුදු භීෂණයත්, සිනහවත් ඇති කරමිනි. (සරත් දසනායක යෞවනයාගේ අත්දැකීම් අප ඩ්රැකියුලා චිත්‍රපට බැලූ යුගයට සමාන්තරය) මේ හැරෙන්නට, සරත් දසනායක පිළිබඳ ලිපි නාමාවලියේ පවුලේ විස්තර සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවල මීටත් රසවත් තොරතුරු දැක්වෙයි. සරත් දසනායක ඉවුම් පිහුම් දක්ෂතාව ඉන් හෙළිවෙයි.
එපමණක්ද? අම්මා කුරුණෑගල බලා ගුරු මාරුවක් හේතුවෙන් පිටත්ව යද්දී, ගෙදර ඉවුම් පිහුම් කාර්යයට උරදෙන්නේ සරත් දසනායක යෞවනයාය. දර කැඩූ හැටි, දර කඩන්නට ගල් මාට්ටු දැමූ අයුරු පමණක් නොව මුදල් අඟහිඟකම පිරිමසා ගන්නට වීදුරු බෝල (ටීක් බෝල සහ මාබල්) ක්‍රීඩාවෙන් දිනූ වීදුරු බෝල දහස් ගණන් විකුණා මුදලක් යන්තමට සරි කරගත් හැටි - ඉතා අපූරු තොරතුරය.
ඒ පුරුද්දම කොළඹ - ෆයිෆ් පාරේ ගෙදරදීද, රසට උයා - පිහා දරු පවුලට කන්නට දුන් අයුරු, ජාතික පොළ නම් වූ පොළට ගොස් එළවළු - මාළුපිනි ගන්නා අතරේ සාමාන්‍ය ජනයා හා පැවති ඇයි හොඳයිය අපූරුවට ඉන් හෙළිවෙයි. මේ කලාකරුවා මෙලොව හැර ගොසිනි. ඔහුගේ සංගීත හා ගීත නිර්මාණ සංරක්ෂයක් තවම සිදු නොවීමේ අභාග්‍යයට හෙට රසික පරපුර මුහුණදෙනු ඇත. රුපියල් එක්දහස් ගණනක ගී නිර්මාණ කර්තෘ භාගයක් පමණක් එක් වරක් හිමි වූ බවටද සඳහනක් රංග දසනායක පුතණුවෝ හෙළි කරති.
සංස්කෘතික ප්‍රතිපත්තියක්, සංස්කෘතික ජීවිතයේ පූර්ණ නොව, අවම පහසුකමක් පවා හරි හැටි නොමැති රටක, සරත් දසනායක නිර්මාණ කාර්යයන් සංරක්ෂණය ගැන කවර කතාද? එතුමන් මේ සියලු දුක් ගැහැට මැද, සිත් රිදවීම් මැද, අප්‍රතිහත ධෛර්යයෙන් සිය නිර්මාණ ජීවිතය පවත්වාගෙන ගොස් ඇති බව මේ ලිපි තුළින් හෙළි වේ.
ඒ වූ කලී මිනිසෙකු වශයෙන්, කලාකරුවෙකු වශයෙන්, සමාජ- සංස්කෘතික ජීවියෙකු වශයෙන් තමාට ඉටු කළ හැකි උපරිම කාර්යභාරය සිය දේශය හා සංගීත කලා ක්ෂේත්රයට ඉටු කළ දැවැන්ත මිනිසෙකු උදෙසා සමාජය පෙරළා එතුමන් පුදා ඇත්තේ කවරක්ද?ගීතයේ - සංගීතයේ- නාද මුසුවේ, සංගීත සංයෝජනයේ පිහාටු මතින් සරත් දසනායක නිමැ වූ ගී රස අප වටා රැව් පිළිරැව් දෙනු ඇත. ඔහුගේ සංගීත රාව - ප්රතිරාව නංවමින් පරපුරෙන් - පරපුරට - ඉදිරි කාලයට රැගෙන යනු ඇත. ගීතයක් රස විඳිනු සමත් වූවනට, ඊට කාලයක් ඇත්තවුනට, එමෙන් නිදහසක්ද ඇත්තවුන් සරත් දසනායක ගී රස විඳිත්වා.