කලා ලොව රංගන ශිල්පීන් අතර තමන්ට අනන්‍ය වූ රංග රටාවක් පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ ශිල්පීන් අතළොස්සකට පමණි. ඒ අතරින් විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කරන රංගනශිල්පියෙකු ලෙස පාලිත සිල්වා හඳුන්වාදීමට පුළුවන. පාසල් කාලය තුළදීම රංගනයට යොමු වූ හෙතෙම වේදිකාව, පුංචි තිරය, සිනමාව ආදී ක්ෂේත්‍ර කිහිපයකම සිය හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ. ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමා නිර්මාණය නිසාවෙනි. එය නිමිත්ත කර ගනිමින් අප ඔහු සමග සාකච්ඡා කළෙමු.
Q ඔබ සාමාන්‍යයෙන් නිර්මාණයකට සම්බන්ධ වීමේදී පිටපත, අධ්‍යක්ෂකවරයා, චරිතය ආදිය පිළිබඳ බොහොම සැලකිලිමත් වෙනවා. ඇයි මෙම චිත්‍රපටයට සම්බන්ධ වූයේ?
මම මේ නිර්මාණයේ ස්වභාවය පිළිබඳව සිතුවේ නැහැ. චරිතයට ආරාධනා ලැබුණු සැණින් මම එය භාරගත්තා. ඒ මොකද මම හිතුවා මට මේ ලැබුණේ මගේ ජීවිතයේ රඟපාන්න පුළුවන් ලොකුම චරිතය කියලා. ඒ නිසයි මම මෙය භාරගත්තේ.
Q ඒ කියන්නේ ඔබ ඉහත කාරණා අමතක කර මේ චිත්‍රපටයට සම්බන්ධ වුණා?
මට මුලින්ම ආරාධනා කළේ කුඩා වාර්තා චිත්‍රපටයක චරිතයකට. මේ චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්න හදපු චිත්‍රපටයක් නොවෙයි. නමුත් මෙහි මුහුරත් උලෙළ පැවැත්වූ දිනවල සුනිල් ප්‍රනාන්දු මහත්මා මෙය සිනමා කෘතියක් ලෙස කරන්න තිරගත කිරීමේ කටයුතු ඔහු භාරගන්නා බව අපට පැවසුවා.
එහිදී සනත් අබේසේකර මහතා මේ තිර රචනය තරමක් දුරට වෙනස් කළා. ඒ අනුව මුලදී ඉන්දියාව තුළ ධර්මපාලතුමාගේ සිදුවීම් රූගත කිරීමට අප අදහස් නොකළත්, පසුව ඉන්දියාවේ රූගතකිරීම් සඳහා ද යොමුවීමට අප තීරණය කළා.
Q චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වරෙක පැවසුවා අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ චිත්‍රපටය ඉතා අඩු පිරිවැයක් යටතේ නිමකළ බැවින් තමාට අපේක්ෂිත මට්ටම කරා ළඟාවීමට නොහැකි වූ බව. ඔබේ අදහස කුමක්ද ඒ පිළිබඳව?
ලෝකයේ විවිධ වර්ගයේ සිනමාකරුවන් සිටිනවා. ඔවුන් හැමෝම ආරම්භයේදී කරන්නේ අඩු පිරිවැයකින් යුතු චිත්‍රපට. සත්‍යජිත් රායි වුවත් මුලින්ම චිත්‍රපටි කළේ එලෙසයි. ඉතිං අබේසේකර මහත්තයට උනත් සමහර දේවල් ලොකුවට කරන්න හිතාගෙන හිටියට එහෙම කරන්න බැරිවෙන්න පුළුවන්.
මොකද සමහර දේවල් ප්‍රතිනිර්මාණය කරද්දි වැඩි මුදලකින් තොරව අඩු මුදලකින් කරන්න සිදුවෙනවා. එහෙම දෙයක් වෙන්නැති ඔහු කියන්න ඇත්තේ.
Q ඔබ වවිධ පරාසයන් තුළ චරිත නිරූපණය කළ අයෙක් වුවද අනගාරික ධර්මපාල චරිතය තුළ ඒකාකාරී බවක් පෙන්නුම් කරනවා?
අනගාරික ධර්මපාලතුමාගේ තරුණ කාලයේ, මැදිවයස සහ මහලු කාලය ලෙස අවස්ථා තුනක් මෙහිදී මම නිරූපණය කරනවා. ඒකාකාරී කියන කතාව මට නම් පිළිගන්න බැහැ. ධර්මපාල කියන්නේ එක චරිතයක් විතරයි. මෙම චිත්‍රපටය නරඹපු බොහෝදෙනා මට කතා කළා. ඔවුන් හැමෝම මට පැවසුවේ ධර්මපාලතුමා එකල කෙලෙස සිටියාද කියා මේ චිත්‍රපට හරහා ඔවුන් තේරුම් ගත් බවයි.
මොකද ඒ කාලයේ ධර්මපාල චරිතය ඡායාරූපවල තිබුණට කොහේවත් පටිගත වී තිබුණේ නැහැ. ධර්මපාලතුමා කෙබඳු කෙනෙක්ද කියා බොහෝ දෙනා තේරුම් ගෙන තිබුණේ මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේදී මා සමග කටයුතු කළ සියලු දෙනාම වාගේ රූගතකිරීම් වලදී මට පැවසුවේ ජීවමාන ධර්මපාලතුමාව දැනුණා කියලයි.
Q මේ තුළ රංගනයෙන් දායක වන අනිකුත් ප්‍රවීණ රංගන ශිල්පීන් ඔබේ රංගනය පිළිබඳව දැක්වූ අදහස් මොනවාද?
මම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවාට ඔවුන් බොහොම කැමති වුණා. මේ සඳහා සම්බන්ධ වූ ශ්‍රියන්ත මෙන්ඩිස්, ලකී ඩයස්, ජී.ආර්. පෙරේරා, ඔක්සින් සමරවික්‍රම ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝමයක් මට සහයෝගය දැක්වූවා.
Q චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්කර තිබියදී පාසල් දර්ශන සඳහා සුදුසු අයුරින් නැවත වරක් සංස්කරණය කරනු ලැබුවා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා ලෙස මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මේ චිත්‍රපටයේ වාර්තාමය ස්වභාවයන් බොහෝමයක් තිබුණා. එම තත්ත්වය අඩුකර හැඟීම් දැනෙන අයුරින් කුඩා දරුවන්ට දැනගත යුතු කාරණා පිළිඹිබු වන ලෙස සාකච්ඡා කළා. විශේෂයෙන් පසුගිය දශකවල ලාංකීය සමාජය බලපෑම් කළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ආදී චරිත බොහෝමයක් ධර්මපාලතුමා සමග කටයුතු කළ පුද්ගලයන්. එම කාරණයන් චිත්‍රපටයට ඇතුළත් කරන්නට තීරණය කළා.
ඒ වගේම ධර්මපාලතුමාව අධිරාජ්‍යවාදීන් දුටු අයුරුත්, ඔවුන්ගේ ක්රියාකලාපයන්ද මෙයට ඇතුළත් කළා. දෙවනවර සංස්කරණය කර මෙම වාර්තාමය ස්වභාවය ඉවත් කළ නිසාම ඉතාම සාර්ථක වෘත්තාන්ත බවක් මෙම චිත්‍රපටයට ලැබුණා.
Q ඒ වගේම නැවත සංස්කරණයේදී එකතු කළ ධර්මපාලතුමා ලංකාවෙන් සමුගන්න දර්ශනය සුවිශේෂයි ඔබ පැවසුවා. ඒ ඇයි?
ධර්මපාලතුමා ලංකාවෙන් සමුගෙන ඉන්දියාවට යන ගමන නිරූපණය කිරීමට අපට නැවක් අවශ්‍ය වුණා. නාවුක හමුදාවේ දකුණ ආඥාපති ලෙස සිටින මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් ධර්මපාලතුමා ජීවත්ව සිටින කාලයේදී භාවිත කළ නැවක් සොයාගැනීමට හැකිවුණා. එය ඉතා දුබල වූ නැවක්. ඉතින් අපි සියලුදෙනාගේ අවසරය මත මෙම නැව ධර්මපාලතුමාගේ සමුගැනීමට යොදාගත්තා. කවුරු හෝ කියනවානම් දෙවන වර සංස්කරණයෙන් පසු චිත්‍රපටය සවුත්තු වුණා කියලා එය ඉතාම වැරදි කතාවක්. මේ මගින් සිදුවුණේ චිත්‍රපටය උසස් තත්ත්වයට පත්වීමයි.
නරඹණ පුද්ගලයන්ට මේ හරහා චිත්‍රපටය තදින්ම දැනෙන්න පටන්ගත්තා. මේ චිත්‍රපටය නරඹා අවසන් වූ පසු නොහඬා සිටි කෙනෙක් නැහැ කියලයි මම නම් හිතන්නේ. මේ තුළින් ප්‍රේක්ෂකයාගේ බුද්ධියට පමණක් නොව හදවතටත් කතා කළා කියලයි මම හිතන්නේ.
Q නමුත් චිත්‍රපටයේ පිටපත එතරම් ප්‍රබල නැහැ නේද?
පිටපත සම්පූර්ණයි කියලා ලෝකයේ කිසිම කෙනෙකුට කියන්න බැහැ. මොකද එවැනි සම්පූර්ණ පිටපත් කවුරුත් ලියලා නැහැ. එලෙස සම්පූර්ණ පිටපතක් ලියන්න පුළුවන් කෙනෙක් ලංකාවේ සිටිනවාද කියල කියන්නත් මම දන්නෙ නැහැ.
තිරනාටක රචකයෙකුට ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. නමුත් මෙය අධ්‍යක්ෂකවරයාගේ කාර්ය භාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. නළුවා තමයි එයට සජීවී බවක් ලබාදෙන්නේ. එහෙම නොවුණොත් මේ පිටපත් සාමාන්‍ය සාහිත්‍ය කෘති පමණයි පිටපතට නාට්‍යයක් බවට පත්කරන්නේ. අධ්‍යක්ෂකවරයා සහ නළු නිළියන් මෙහි පිටපත සම්පූර්ණ නැහැ කියලා කියනවා නම් ඔහු සිනමාව පිළිබඳව කිසිවක් දන්නෙ නැහැ කියලයි මම නම් හිතන්නේ.
ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයයි මම සිනමා පාසලක ඉගෙනගත් අයෙක්. ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයේ මම සිනමාව හැදෑරුවා. මට පැහැදිලිව කියන්න පුළුවන් ලංකාවේ චිත්‍රපට පිළිබඳව කතා කරන, චිත්‍රපට විවේචනය කරන පුද්ගලයන් සිනමාව විවේචනය කරන පුද්ගලයන් සිනමාව ඉගෙන ගත් අය නොවෙයි. අඩුම තරමේ ඔවුන් තිරනාටක සම්බන්ධයෙන් පොතක් දෙකක්වත් කියවූ අය නොවෙයි.
සිනමා විචාරකයෝ කියල හිතාගෙන ඉන්න බොහෝ දෙනෙකුට සිනමාව පිළිබඳ පොඩි දැනුමක්වත් නැහැ කියලා ඔවුන්ගේ විචාර අනුවම අපිට තේරෙනවා. මම හිතන හැටියට සිනමා ශාලාව තුළදී අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ප්‍රේක්ෂකයාටත් යමක් දෙන්න මට තිබුණ වපසරිය හොඳටම ප්‍රමාණවත්.
Q චරිත නිරූපණය කිරීමේදී ඔබ පිටපතම අනුගමනය කළාද? නැතහෙත් ඉන් ඔබ්බට ඔබේ යමක් එකතු කිරිමට හැකිවූවාද?
මම පැහැදිලිවම චරිතයේ අභ්‍යන්තර ගති ස්වභාවයන් තමයි සොයන්නේ. එය හුදු අනුකරණයකින් තොරව ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම ධර්මපාලතුමා භාවිත කළ භාෂාව සොයාගෙන එම භාෂාවේ නිශ්ශබ්දතාවයන් පවා සොයාගෙන එය ඉදිරිපත් කළා. මෙය හරිම සියුම් කාරණාවක්. කෙනෙකුට මෙය බලලා විවිධ දේ කියන්න පුළුවන්.
නමුත් මෙය ඉතා කල්පනාකාරීව සූක්ෂමව ඉටුකළා කියලා කියන්න මට පුළුවන්. මම මීට පෙරත් මෙවැනි භාරදුර චරිත රඟපාල තියෙනවා. නමුත් මේ චරිතය ඊට වඩා ටිකක් බරපතළයි.
Q අනගාරික ධර්මපාල චරිතය ඔබේ ජීවිතයට සමීප වන්නේ කෙසේද?
මම හිතන්නේ අනගාරික ධර්මපාලතුමා සහ මම අතර දැන් තියෙන සමානකම තමයි මස් මාළු නොකෑම සහ මත්ද්‍රව්‍ය නොබොන එක පමණයි. එතුමා ආධ්‍යාත්මිකව ගත්තොත් අපි හැමෝමටම වඩා ඉහළින් ඉන්න පුද්ගලයෙක්. බෝධිසත්ව ගුණයෙන් පිරුණු පුද්ගලයෙක්.
ධර්මපාලතුමාගේ චරිතයෙන් පුංචි හෝ දෙයක් ජීවිතයට එක්කරගන්නට පුළුවන් නම් මම හිතන්නේ අපිට යහපත් ලෙස ජීවිතය ගතකරන්න පුළුවන්. ඒ වගේම එතුමාගේ දර්ශනය අවබෝධ කර ගතහොත් අද සමාජයේ ජීවත්වීමට මනා පිටුවහලක් වෙනවා කියලා මම හිතනවා.