සිය සංගීත දිවියට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් දුකා හෙවත් වසන්ත දුක්ගන්නාරාළ අලුත් වැඩකට අතගසා තිබේ. එය ඔහුගේම වචනයෙන් කියනවා නම්, සාහිත්‍යවාදී සංගීතවාදී සන්ධ්‍යාවකි.. අපි දුකාගෙන් ඒ කුමක්දැයි ඇසුවෙමු.
ඌට තාම විසිපහයි
1991 සිට මේ දක්වා මම ආ විසිපස් වසරක ගමන්මග සනිටුහන් කරමින් මං සිංහයාට බයයි නංගියේ ගීත කෘතිය මෙන්ම ඌ තමයි දුකා කෘතියත් එළිදැක්වීමට සමගාමීව මගේ ගී පද රචනයෙන් සංගීතවත් වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි. එය පැවැත්වෙන්නේ හෙට (02දා) පස්වරු 6.30ට කොළඹ 07 මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහලේදීයි.
එහි සංගීතය සපයනුයේ මහේෂ් දෙනිපිටිය ප්රමුඛ සංගීත කණ්ඩායමයි. එදින මගේ පද රචනයෙන් ගීතවත් කළ ගීත සමුච්චය අතරින් තොරාගත් රෝහණ බැද්දගේ, සේනානායක වේරලියද්ද, භාතිය ප්‍රනාන්දු, සන්තුෂ් වීරමන්, නිරෝෂා විරාජිනී, ඉරාජ් වීරරත්න, අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි, කුෂානි සඳරේඛා, අශාන්තිද අල්විස් , සුරනි ද මෙල්, සචිත් පීරිස්, ගයන්ත විජේරත්න, දුෂ්යන්ත් වීරමන්, චින්ති ප්‍රනාන්දු, රොමේෂ් සුගතපාල, අජිත් බණ්ඩාර, පේෂල විසුම්පෙරුම ගායනයෙන් රසගන්වන මේ සාහිත්‍යවාදී සංගීතවාදී සන්ධ්‍යාවට එක්වන්න කියා සැමට ආරාධනා කර සිටිනවා.
සිල් බිඳගත්ත දුකා කස ගස් සෙවණට
කාලයක් නිහඬව උන්නු මං ඒ නිහැඬියාව බින්දෙ සිල් බිඳ ගත්තෙ ගීතයෙන්. ඒකත් බොහොම හිට් එකක් වුණා. මට වෙනස් ගණයේ ගීතයක් අර ගොවි ගීතය කළා වගේ කරන්න හිතුණා. මේකට කීප දෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා. එකක් තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්‍රේම ගීතයක් නෑ. හන්තානට තමයි ගොඩක් ඒවා ලියවිලා තියෙන්නේ. මොකද සුන්දර පරිසරයක්. පේරාදෙණිය කියන්නේ සුන්දර විශ්වවිද්‍යාලයක්. හන්තානේ කඳු මුදුන සිසාරා, හන්තානට පායන සඳ, හන්තාන අඩවිය, ඔය ඔක්කොම තියෙන්නේ එහෙටනේ. මේ හින්දා මම ජපුරට ගීතයක් නිර්මාණය කළා.
ජපුර ප්‍රේමය ගැන කතා කරනකොට ජපුර තියෙන සංකේත කස ගස්, අපේ තියෙන තෙල් බැම්ම. එතකොට ඒ අවට පරිසරය ගත්තාම රත්තනපිටිය, එගොඩවත්ත වගේ දේවල් භාවිත කරමින් සරසවියේදී ඇති වූ විප්ර‘යෝගය ගැන නැත්නම් විරහ වේදනාව ගැන ලියවෙච්ච සොඳුරු ගීතයක් තමයි මේක. මං හිතන්නේ මේක විශ්වවිද්‍යාලයේ ඉන්න අයටත් විශ්වවිද්‍යාලය හැරගිය අයටත් සියුම් ලෙස දැනෙන ගීතයක් වේවි.
දර්ශන රුවන් දිසානායක තමයි මේක සංගීතවත් කළේ. කසුන් කල්හාර ගැයීමට නියමිතයි. ඒකෙදි මම ගොඩක් තැන්වල යොදාගත්තේ අපේ විශ්වවිද්‍යාලයට ආවේණික ස්ථානවල නම් හා විශ්වවිද්‍යාලය තුළදී සිදුවන සිදුවීම්වල ආදරණීය දේවල්. දැන් ඔය අපි පොන්ඩ් කරනවා කියන එක එහෙම පිට අය වැඩිය දන්නෙ නෑ. අපි දෙන්නෙක් ආලවන්තයන් උනාම ඉස්සරහ තියෙන පොන්ඩ් එකට දානවා. වතුර ගහලා නාවලා තමයි දෙන්නා අභිෂේක ගන්වන්නේ. මෙයින් වෙන එක දෙයක් තමයි මුළු කැම්පස් එකම දැනගන්නවා උන් දෙන්නා යාළුයි කියලා. ඒකෙන් වෙනත් සම්බන්ධතාවයකට තියෙන ඉඩ අඩුවෙනවා.
ඊළඟට හැර දමා ගිය වේදනාව වගේ දේවල් සඳකිඳුරෙක් කිඳුරියට කියනවා මම කවදාවත් ආයෙ ඔයාගෙ සඳකිඳුරා වෙන්නෙ නෑ කියලා. ඒ පදවැල් මට එන්නෙ මේ විශ්වවිද්‍යාලයේ මම ලිව්ව කවියකින්මයි. එකල බිත්ති පුවත්පතකට මම ලියපු කවියක
සඳ කිඳුරා නොවෙමි යළි කිසි දිනක මම
කියලා පද පේළියක් තිබුණා. ඒක අරන් වචන ටිකක් එහෙමෙහෙ කරන්න වුණා. ඒ ගීතයේ තියෙන පදවැලේ තියෙන්නේ සඳකිඳුරා කියන ආකාරයේ වෙනස් විදියකට. ඒ ගීතයේ පදවැල මෙහෙමයි,
පෙම්සාර නලමුදු සුවඳේ - බෝම නැළැවෙන කසගස්
හන්තාන නැතිමුත් ජපුරේ තාම සිහිවෙන පෙම්බස්
මල් බැම්ම ළඟ පඳුරේ මටම හිමිවුණ ඔය ඇස්
කලාගාරය අඳුරේ අපේ දුක සමරනු වස්
සසර අතු අග පිපි මලේ
මැයි මාර ගස් කෙළවරේ
සොඳුරු රත්තනපිටිය අසබඩ තුරුළු වී අප සිටියේ
එගොඩවත්තට අත වනයි
මෙගොඩවෙන්නට බැරි හැඩයි
පොකුණකට විසි කරලා අපේ සිත් එක් කරලා
දමා ගිය කල කිඳුරා
පොකුණ කඳුළින් පිරුණා
ඉතිං සොඳුරිය කිසිදු දිනකදි නොවෙමි යළි සඳ කිඳුරා
මට දර්ශන රුවන්ව මේ ගීතයට ඕන කරලා තිබුණේ මේ ගීතය ටිකක් සංවේදී බව දනවන එකක් නිසා දර්ශනගේ ගීත රටාවට මං ටිකක් කැමති වුණා. මේක ඩාන්සින් ට්‍රැක් එකකුත් නොවන නිසා සහ වචනවලට මෙලඩියක් දාන්න ඕන නිසා ඒ හැකියාවෙන් බොහොම පිරිපුන් සංගීතඥයෙක් තමයි දර්ශන. ඒ වගේම දර්ශනට හොඳ දේශපාලනික හා ඓතිහාසික ඥානයක් තියෙන කෙනෙක් නිසා මට හිතුණා මේක වැටෙහෙන්නේ ඔහුටමයි කියලා. ඇත්තටම ඔහු ඒක වටහා ගත්තා. විශේෂයෙන්ම කසුන් කල්හාර වගේ කෙනෙක් ගායනා කළාම එහි වටිනාකම නිමක් නෑ. ආයෙ ඔහු මේක ඉකිගසා හඬන ගීතය වගේ හදන්න ගියේ නැහැ. මට හිතන්නේ මේක ටිකක් සමරවිට රෙගේ තත්ත්වෙට පත්වෙන්නත් පුළුවන්. හැබැයි කසුන්ගේ අනන්‍යතා ලක්ෂණවලට ගැළපෙන විදියටයි හදාගෙන යන්නේ.
වර්තමාන සංගීත රැල්ලේ දිශානතිය
මං හිතන්නේ මම මීට පෙර කරපු සංවාදයකදී කියල ඇති මේ හැඩයක් නැති ගීත රැල්ල ටික දවසක් තියේවි කියලා. ඒක තියෙන්න ඕන. ඒක දේශපාලනිකයි. ඒක නැතිවෙලා යන ස්වරූපයක් මට පේනවා. ඉතිං මේ වෙලාවේ ආපහු මාධ්‍ය තීරණය කරල තියෙනවා එවැනි ගීතවලට වඩා වෙනස් ගීත ප්‍රචාරණය කළ යුතුයි කියලා. සමහරු නැවත හැට හැට හැත්තෑව අනූව දශකයටම ගිහින් තියෙනවා. සමහර අය දෙදහස දෙදහස් දහය යුගයේ ගීතවලට ආපහු හැරිලා තියෙනවා. මං හිතන්නේ විශාල වෙනස්වීමක් ඇතිවුණා සිල් බිඳගත්ත ගීතයත් එක්ක ආපහු ගීත රටාව වෙනස් වෙන්න ඕන කියලා. එහෙම ප්රවණතා තමයි ගොඩක් ඇතිවෙන්නේ. සමහර අපි හිතපු, අපි බලාපොරොත්තු වෙච්ච නමුත් ප්‍රචාරය නොවුණ ගීත දැන් ආයෙ ප්‍රචාරය වෙනවා.
ඌ තමයි දුකා අරන් රට වටා
දෙවෙනිදායින් පස්සෙ ඇත්තට මට තියෙන්නේ විදේශ සංචාර කීපයක් සහ සිංහල අවුරුද්දට ලෑස්තිවෙන්න නාළිකා රැසක පෙනී සිටින්නටයි. ඊට පස්සෙ ඇත්තටම අපි යෝජනා කරල තියෙන්නේ මේ ප්‍රසංගය ප්‍රාදේශීය වශයෙන් ප්‍රධාන නගර කීපයක හරි කරමු කියලා . නුවර , අනුරාධපුර , ගාල්ල වගේ. මීට වඩා තැන්වලට යන්න පහසුකම් පොඩ්ඩක් මදි. මොකද ශිල්පීන් වැඩියි. ශිල්පීන් එකතු කිරීම හරිම අපහසුයි. ඉතිං අඩු මට්ටමින් හරි ප්‍රත්‍යන්ත අයට හරි මේ සුවය විඳින්න අවස්ථාවක් ලබාදෙන්න තමයි අපේ ඊළඟ වැඩපිළිවෙළ තියෙන්නේ. ඊට පස්සෙ ඌ තමයි දුකා කියන කෘතියත් එක්ක රට පුරාම දේශන මාලාවක් පවත්වන්නයි බලාපොරොත්තුව. උසස් පෙළ කරන ළමයින්ට එම කටයුත්ත අඛණ්ඩව ගෙනයන්නයි මගේ අපේක්ෂාව.
0772852181