අවම විමෝචන මට්ටම් සහිත ජාත්‍යන්තර තලයේ Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (02දා) කටයුතු කර ඇත.
රට තුළ භාවිත වන ප්‍රධාන බලශක්ති ජනන නිෂ්පාදන යුරෝපා වායු විමෝචන ප්රමිතීන් (European Emission Standards) සමග සමපාත කිරීම සඳහා රජය දරන උත්සාහයට මෙය මනා රුකුලක් වනු ඇති බව ඔවුහු පවසති.
මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ, ‘‘රාජ්‍ය ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රට තුළ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා රජය දරන උත්සාහයට සහයෝගය ලබාදීම ඉතාමත් වැදගත්. Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීම වැනි පියවර මගින් අපට, අහිතකර වායු විමෝචනයන් අවම කිරීම සඳහා දරනු ලබන ගෝලීය උත්සාහයන්ට දායක වීමට වගේම, වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන භාවිත කිරීම මගින් රටට යහපතක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටත්, කර්මාන්තවලටත් සහයෝගය ලබාදීමටත් අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.
ඒ අනුව මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ. මෙමගින් පාරිභෝගිකයන්ට අවම අහිතකර වායු විමෝචනයක් සමගින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් අත්විඳීමේ අවස්ථාව ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසයි.