ශ්‍රී ලංකා ආර්ථිකයේ 2020 වර්ෂය තුළ වාර්තා වූ 3.6%ක සෘණාත්මක වර්ධන වේගය හා සැසඳීමේදී 2021 වර්ෂයේදී 3.7%ක ධනාත්මක වර්ධන වේගයක් ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
තවද ස්ථාවර මිල ගණන් යටතේ රු.මිලියන 9,532,909ක් ලෙස 2020 වර්ෂයේ වාර්තා වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය, 2021 වර්ෂයේදී රු.මිලියන 9,881,397ක් ලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, 2019 වසරේ වාර්තා වූ රු.මිලියන 9,890,468ක සිට 2020 වර්ෂයේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 9,532,909ක මට්ටම දක්වා අඩුවී තිබේ.
ඒ අනුව, 2021 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ගණනය කර ඇත්තේ ඉහත සඳහන් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවූ මට්ටම පදනම් කරගෙනය. ඊට අමතරව, පවත්නා මිල ගණන් යටතේ 2020 වර්ෂයේ රු.මිලියන 15,027,374ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2021 වර්ෂයේදී රු.මිලියන 16,809,309ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2020 වර්ෂය හා සැසඳීමේදී 11.9%ක වර්ධනයකි.
ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා පවත්නා මිල යටතේ 2021 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙළින් 9.0%ක්, 27.8%ක්, 57.5%ක් ලෙස වාර්තා වන අතර, භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු සංරචකය 5.7%කින් 2021 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට දායක වී ඇත.
එසේම, 2021 වර්ෂයේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මික, කර්මාන්ත සහ සේවා පෙර වර්ෂයට සාපේක්ෂව පිළිවෙළින් 2.0%, 5.3% සහ 3.0%ක සුළු ධනාත්මක වර්ධන වේගයන් වාර්තා කර තිබේ. 2020 වර්ෂයේ මෙම ක්‍රියාකාරකම්වල වාර්තා වූ පසුබැසීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ධන අනුපාතයන් වාර්තා වී ඇත.
කොවිඩ්-19 වසංගතය පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 වර්ෂයේදී ආර්ථිකය 3.6%කින් සංකෝචනය වූ බව පෙන්වා දෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2021 වසරේ පළමු හා දෙවැනි කාර්තු දෙකෙහිද සෘණ වර්ධන වේගයන් වාර්තා වුවත්, සෙසු කාර්තු දෙක සඳහා ධනාත්මක වර්ධන අනුපාතයන් වාර්තා වූ බව පවසයි. 2021 වසරේ සිව්වැනි කාර්තුව, වසංගතයේ සිව්වැනි රැල්ල මධ්‍යයේ ආරම්භ වුවත්, පෙර රැලි මෙන් නොව, මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට සහ ව්‍යාපාර අවහිර කිරීමට එම රැල්ල එතරම් හානිකර හා අහිතකර ලෙස බල නොපෑ බවද පවසයි. එසේම, රජය විසින් රටපුරා පවත්වන ලද සාර්ථක එන්නත්කරණ වැඩසටහන් හේතුවෙන් මරණ අනුපාත අඩුවීමට පටන්ගත බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව, 2020 වසර හා සසඳන විට 2021 වසර පුරා පැවති හිතකර තත්ත්වයන්, 2021 වසරේ තුන්වැනි කාර්තුව හැර පළමු වැනි, දෙවැනි සහ සිව්වැනි කාර්තුවල ධනාත්මක වර්ධන වේගයන් වාර්තා කිරීමට හේතු වී ඇති බව පවසයි. ඒ අනුව, 2021 වසරේ පළමු වැනි, දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි කාර්තු සඳහා වාර්තා වූ වර්ධන අනුපාත පිළිවෙළින් 4.2%, 12.4%, -1.5% සහ 1.8%ක් ලෙස දැක්වුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.