ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 10,639ක (ආසන්න වශයෙන් රු.මිලියන 15,500ක) ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාව පළකර තිබේ.
ජපාන රජය සමග කරන ලද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ලබාගැනීමට හැකිවී ඇති අතර, මීට අදාළ ව්‍යාපෘති තුළින් තෘතීයික රෝහල්වල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම හරහා බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේත්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයන් පුහුණු කිරීමේ පාසල්වලත් නව තාක්ෂණය යොදා ගනිමින්වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘති මගින් සිදුකිරීමට අපේකෂා කර ඇත.
ජපානයෙන් ලැබෙන ණය මුදල හරහා සිදුකෙරෙන ව්‍යාපෘති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එය 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂා කර ඇත.
මීට අදාළ ගිවිසුම් සඳහා අත්සන් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජයිකා ආයතනය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා යන මහත්වරුන් විසින් මුදල් අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.