ඉන්ධන සහ විදුලිය හිඟය තේ කර්මාන්තයේ දෛනික කටයුතු අඩාල වීමට විශාල තර්ජනයක් බවත්, මෙම අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් 'සීලෝන් ටී' වෙනුවට ආදේශකයන් වෙත ආනයනකරුවන් යොමු වීමෙන්, ජාතික ආර්ථිකයට මෙන්ම, තේ කර්මාන්තයෙන් ජීවනෝපාය ලබන මිලියන 2කට අධික ජනතාවට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය අවධාරණය කරයි.
1894 දී පිහිටුවන ලද කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය යනු වගාකරුවන්, නිෂ්පාදකයන්, තැරැව්කරුවන් සහ ගැනුම්කරුවන්/අපනයනකරුවන් යන සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඉහළම පෞද්ගලික අංශයේ ආයතනයකි.
ඔවුන් පෙන්වා දෙන පරිදි, කුඩා තේ වතු හිමියන්ගේ සහ වතුකරයේ වගාබිම්වල සිට කම්හල් වෙත අමු දළු ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන් බිඳ වැටීමට ආසන්නය. විදුලිජනක යන්ත්‍ර සඳහා ඩීසල් නොමැතිකම හේතුවෙන් නිෂ්පාදකයන්ට නියමිත වේලාවට නිෂ්පාදනයන් ලබාදීමට නොහැකි වී ඇත. පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් කර්මාන්තශාලා වැසී යාමේ සම්භාවිතාව වැඩිය. වාර්ෂිකව ජාතික නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් සපයන කුඩා තේ වතු හිමියන්ට මෙය බරපතල බලපෑමක් බව පැහැදිලිය.
සාමාන්‍යයෙන් සතිපතා කොළඹට ලබාදෙන තේ තොග මත තේ වෙන්දේසි පැවැත් වේ. උග්‍ර ඩීසල් හිඟය හේතුවෙන් විවිධ වැවිලි දිස්ත්‍රික්කවලින් ප්‍රවාහනය කරන්නන්ට එසේ කිරීමට නොහැකි වී ඇත. කර්මාන්තයේ සමස්ත වටිනාකම් දාමයට අහිතකර බලපෑමක් ඇති කරන සතිපතා කොළඹ තේ වෙන්දේසි පැවැත්වීම කෙරෙහිද මෙය බලපානු ඇත. ශ්‍රී ලංකාව සිය වාර්ෂික නිෂ්පාදනයෙන් 90%කට වඩා අපනයනය කරන පසුබිමක, අපනයන ආදායම ඇ.ඩො.බිලියන 1.3ක් ඉක්මවද්දී, මේ වත්මන් අර්බුදය හේතුවෙන් ආනයනකරුවන් විසින් 'සිලෝන් ටී' වෙනුවට වෙනත් සම්භවයක් ඇති තේ ආදේශ කිරීමට බලාපොරොත්තු වීම නොවැළැක්විය හැකිය. එසේ වුවහොත් මෙරට තේ කර්මාන්තයට එය ආපසු හැරවිය නොහැකි බලපෑමක් ඇති කරන බව තේ වෙළෙඳුන්ගේ සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.