ලංකා සතොස සේවක සේවිකාවන්ගේ කැපවීම, කාර්යක්ෂමතාව, ඵලදායීතාව සලකා බලමින් සේවක බඳවා ගැනීම් සඳහාත්, උසස්වීම් ලබාදීම සඳහාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ දීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකදීය. මෙම අවස්ථාව පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි කාලයේදීද මේ ආකාරයටම සතොස විවිධ අංශවල දීර්ඝ කාලයක් කාර්යක්ෂමව හා ඵලදායීව සේවය කරන සේවක සේවිකාවන්ට උසස්වීම් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ලංකා සතොස සවිමත්ව ගොඩනැගීම සඳහා කැපවෙන්නේ එහි සේවක සේවිකාවන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය. මෙහිදී, තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ලංකා සතොස ආයතනයේ සේවක බඳවා ගැනීම් හා උසස්වීම් ලබාදීමට නිසි ක්‍රමවේදයක් අප හඳුන්වාදී තියෙනවා. ඒ සඳහා දේශපාලන, පක්ෂ භේදයකින් තොරව කැපවීමෙන් වැඩකරන දක්ෂයන්ට සිය තනතුරු උසස් කරගෙන ඉදිරියටම යාමට පුළුවන්. මෙය සිය කැපවීම තුළින් සේවක සේවිකාවන් උපයාගත යුතු දෙයක්. ඒ සඳහා ඔබගේ කැපවීම ඉතාමත් අවශ්‍යයි. ඔබ සේවය කරන ආයතනයට ඔබ කැපවීමෙන් යුතුව කර්යක්ෂමව සේවය ඉටු කරන්නේ නම්, ඔබට තවතවත් ඉහළට යාමට පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබගේ දක්ෂතාව උපරිම අන්දමින් ඉටු කිරීමට සිතට ගත යුතුයි. මේ ලංකා සතොස ආයතනය ඔබගේ ආයතනයයි. එය ඔබගේ නිවසයි කියා හිතන්න. ඒ නිසා එය රැකගෙන, එය ඉදිරියට ගෙනයමින්, එයින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් කරන සේවාව ඉහළම අන්දමින් ඉටුකිරීමට සිතට ගන්න" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එන්.එම්.ෆරාස් මහතා ඇතුළු සතොස ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.