ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 80කට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා විශේෂ ඉන්දියානු චාරිකාවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබේ.
මෙම තෙදින සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවේ C-17 ග්ලොබ්මාස්ටර් ගුවන් යානයක් ලබාදී ඇති අතර, මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගැනීම මෙන්ම, ඉන්දියානු යුද හමුදා සාමාජිකයන් මුණගැසීම සහ ගයාහි පිහිටි නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියට (OTA) සංචාරය කිරීම ඇතුළු විවිධ වැඩසටහන් රැසක් මෙම තෙදින සංචාරයට ඇතුළත් බව පවසයි. මෙම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ඉන්දීය යුද හමුදාව විසිනි.
මෙම ඉන්දීය සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ජුනි මස 24දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහිදී ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමු වී ඇත. එම අවස්ථාවේදී ඔවුන් මෙම විශේෂ සංචාරය සංවිධානය කිරීම පිළිබඳව සිය සතුට පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පුදකර තිබේ.
මෙම චාරිකාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට පොදු බෞද්ධ උරුමය සනිටුහන් කරන තවත් එක් සන්ධිස්ථානයක් වූ බවත්, දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර මිත්රත්වත්වය හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට උපකාරී වූ බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.