ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට සඳහා ප්‍රබල අරගලයක යෙදෙන ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය ණය ගෙවීම පැහැර හැරීමෙන් පසුව, ශ්‍රී ලංකා බැඳුම්කර හිමියෙකු විසින් එක්සත් ජනපදයේදී තම මුදල් සහ පොලියද ගෙවන ලෙස ඉල්ලා නඩු පවරා තිබේ.
ජූලි 25 වැනි දිනට කල් පිරීමට නියමිත ශ්‍රී ලංකාවේ 5.875% ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඇ.ඩො.මිලියන 250කට වඩා වැඩි මුදලක් හිමි Hamilton Reserve Bank Ltd විසින් මූලික මුදල හා පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝක් ෆෙඩරල් අධිකරණයේදී අඟහරුවාදා නඩුව ගොනුකර ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරයි.
ශ්‍රී ලංකාව, එහි ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා මග හැරුණු පොලී ගෙවීම් සඳහා දින 30ක සහන කාලය ඉකුත්වීමෙන් පසු මැයි මාසයේදී ණය පැහැර හැරීමට ලක් විය. එය 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද පළමු වැනි ස්වෛරී ණය පැහැර හැරීමයි.
Hamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය. එමෙන්ම, ප්‍රකාශිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් දේශීය බැංකු සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්ව විසින් තබා ඇති බැඳුම්කර බැහැර කරන බවට ශ්‍රී ලංකාවට චෝදනා කළේය.