ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළු මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 200ක් (දළ වශයෙන් රු.මිලියන 340ක්) ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය මෑත කාලසීමාව තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, එය කඩිනමින් මැඬපැවැත්විය යුතු සමාජ ගැටලුවක් ලෙස වත්මන් රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීමේ පිළියමක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණවල අවශ්‍යතාව ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් පෙන්වාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති සුගියමා අකිරා යන මහත්වරුන් විසින් මෙම ආධාර ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර සඳහා අද (13දා) මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.