CodeGen International (පුද්.) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන 90 වැනි ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නැව්ගත කර තිබේ.
එළැඹෙන මාර්තු 05 – 15 දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය වෙනුවෙන් පසුගිය ජනවාරි 19 වැනි දින කොළඹ වරායෙන් නැව් නැගි Vega EVX රථය, 2020 පෙබරවාරි අගදී සිය ගමනාන්තය කරා ළඟා වනු ඇත.
මෙය වඩාත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය මෙය බැවිනි.
මෙය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ නිපදවන ලද මෝටර් රථයක් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශන උළෙලක් වෙත ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව ලෙසද ඉතිහාසගත වෙයි.
Vega EVX සුපිරි මෝටර් රථය තත්ත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 0 සිට 100ක් දක්වා වේගයක් ලබාගන්නා අතර, පරිපූර්ණ ඉලෙක්ට්‍රික් රථයක් ලෙස එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් යුතුය. මෙය පැයට කිලෝමීටර 260ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි ස්පෝටි මාදිලියේ රථයකි.