ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලියේදී ඊට අවශ්‍ය කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමට කැනඩාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් පවසයි.
ජූලි 01දාට යෙදුණු කැනඩා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහ කොමසාරිස්වරයා,
"දශක ගණනාවක් පුරා කැනඩාව, ශ්‍රී ලංකාවේ ප්‍රබල පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කොට තිබෙනවා. කැනඩා මිත්‍රත්ව මාර්ගය අපගේ එම දිගු හවුල්කාරීත්වය පිළිබිඹු කෙරෙන එක් නිදසුනක්. කෙසේ වෙතත්, මගේ ධුර කාලය ආරම්භ කළේ ශ්‍රී ලංකාව මින් පෙර කිසි දිනෙක අත් නොවිඳි බරපතළ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ බව මා හොඳින් දන්නවා. එම ආර්ථික අර්බුදයෙන් වඩාත්ම දරුණු ලෙස පීඩාවට පත් පුද්ගලයන් වෙත සහනයක් ගෙනඒම සඳහා කැනඩාව දායක වූ අතර, ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලියේදී ඊට අවශ්‍ය කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමටත් කැනඩාව සූදානමින් සිටින බව මා මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. එසේම, ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් මිදී වඩාත් අන්තර්කරණය වූ සහ සෞභාග්‍යමත් රටක් ලෙස නැගී සිටීමටත්, එහි සැබෑ විභවතාවන් සාක්ෂාත් කොට ගනිමින් ශක්තිමත් ලෙස අනාගතයට මුහුණ දීමටත් අවශ්‍ය වන්නා වූ අව්‍යාජ වෙනස ඇතිකර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක් ලෙස අප පිළිගන්නවා. කැනඩාව තමන්ගේම දුෂ්කර අතීතය සමග තවමත් අරගලයේ යෙදෙමින්, ආදීවාසී ජනතාවගේ දිගුකාලීන ගැටලු විසඳීම සඳහා ඔවුන් සමග එක්ව කටයුතු කරන මේ අවස්ථාවේදී, අර්ථවත් සහ දිගුකාලීන ප්රතිසන්ධානයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යායාමයන්ට සහාය දැක්වීම සඳහා අපගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත් අප සූදානමින් පසුවෙනවා" යැයි පවසා සිටියේය.