මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සිදුකළ වෝහාරික විගණනයට අදාළ සියලු වාර්තා පාර්ලිමේන්තුව වෙත භාරදී අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී නැගුණු පැනයකට ප්‍රතිචාර ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
වෝහාරික විගණන වාර්තාවට අදාළ කොටස් අඩුවෙන් ලබා දුන්නා යැයි කියන ඇමුණුම් පර්ලිමේන්තුව වෙත ලබා දීමට මහ බැංකුව පියවර ගත්තා දැයි යනුවෙන් නැගුණු ප්රශ්නය හමුවේ, "ඒවා දැනටමත් පාර්ලිමේන්තුවට භාර දීලා අවසන්" බවත්, එහිදී ඇතැම් කොටස් ලැබී නැති බවට නැගෙන චෝදනාව හමුවේ, "ඔබ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසිය යුතුයි" යනුවෙනුත් නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
"අපේ පැත්තෙන් ඒවා ලබා දීලා තිබෙන්නේ. කථානායක කාර්යාලය අපගෙන් ඉල්ලීමක් කළා. මුලින්ම අපි ප්‍රධාන වාර්තාව ලබා දුන්නා. මොකද, මේ වාර්තාව කිසිවකු වෙත ලබා නොදෙන ලෙස නීතිපතිවරයා අපට උපදෙස් දී තිබුණා. කථානායකවරයාගේ ඉල්ලීම අනුව, නීතිපතිවරයාගේ උපදෙස් මත ඉන් පසු අප ඉතිරි කොටස් සියල්ල ලබාදීමට පියවර ගත්තා." යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.