වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමක් දෙසැම්බර් මාසයේදී සිදු නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිවරයා දේශනයකදී සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් පළ වන පුවත් පිළිබඳව 'අද' කළ විමසීමකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"කොවිඩ්-19 වසංගතයත් සමග දැනට රටේ පවතින තත්ත්වය මත අපට වාහන ආනයනය කිරීමට අවසර දෙන්න හැකියාවක් නැහැ. එසේ වුවත්, අප අලුතින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්රතිපත්තිමය වෙනස්කම්වලින් ඒ තත්ත්වය වෙනස් වුවහොත්, දෙසැම්බර් මාසය අග වනවිට අප නැවත පසුවිපරමක් කරමින්, ආනයන තහනම කොයි කාලයේදී පමණ ඉවත් කළ හැකිදැයි සොයා බැලීමක් කරනවා. කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ තහනම ඉවත් කරනවා යැයි කියා මා සඳහන් කර නැහැ. දෙසැම්බර් මාසයේ අග වනවිට නැවත වරක් අප ඒ පිළිබඳව පසුවිපරමක් කරන බවයි, මා සඳහන් කළේ. ඉන් පසුව තීරණයක් ගන්නවා. එවිට මේ සඳහා අපට ඉඩදිය හැකි කාලය තීරණය කරගැනීමට පුළුවන්." යැයි පවසා සිටියේය.