ලිට්රෝ ගෑස් යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් හා ආයතන අතරින්, 2010 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා රටේ වැඩියෙන්ම ලාභ ලබන සමාගම වන අතර, රටේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස් වෙළෙඳ පොළෙහි 80%ක ප්‍රතිශතයක් සතු සමාගම වුවද, එවැනි ලාභ ලබන ආයතනයක් තරගකාරී සමාගමක් වෙනුවෙන් බිලිදීමේ උත්සාහයක් ගැන 'ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව' අනාවරණයක් කරයි.
සේවකයන් 225දෙනෙකුට සෘජු රැකියා අවස්ථා සපයන ලිට්රෝ ආයතනයේ පිරවුම් මධ්‍යස්ථානය මසකට LP ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක් පමණ හැසිරවීම සිදුකරන පසුබිමක, සමාගමේ වාර්ෂික පිරිවැටුම රු.බිලියන 50ක් ඉක්මවා යන බව පෙන්වා දෙන ඔවුන්, සමාගම ලාභාංශ ලෙස රු.බිලියන 13ක්ද, බදු ලෙස රු.බිලියන 34ක්ද ගෙවා ඇති බවද සඳහන් කරයි.
කෙසේ වුවද 2019 ඔක්තෝබර් මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම මට්ටමක පවත්වා ගැනීමට සිදුවීම නිසා ලිට්රෝ සමාගම රු.බිලියන 8.5ක පමණ අලාභයක් සිදුවී ඇති බැවින්, ලිට්රෝ සමාගම මේ වනවිට දෙයාකාරයකින් අර්බුදයකට මුහුණදී ඇති බවද ඔවුන් අනාවරණය කරයි. එනම්, වෙළෙඳපොළ තත්ත්වයන් අනුව සිලින්ඩරයක මිල තීරණය නොවීම නිසා සමාගමට දිගින් දිගටම පාඩු විඳීමට සිදුව තිබීම සහ පාර්ලිමේන්තු අනුකමිටුවේ නිර්දේශ අනුව වෙළෙඳපොළේ 80%ක් හිමි ලිට්රෝ සමාගමට 20%ක් වැනි කුඩා වෙළෙඳපොළ ප්‍රතිශතයක් හිමි තරගකාරී සමාගමක් මත තම ගෑස් සැපයුම රඳා පැවතීමට සැලසුම් කිරීමය. මෙම සාධක දෙකම, වසර 150ක් පැරණි රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ ආයතනයට බෙහෙවින් අහිතකර බව ඔවුන් අවධාරණය කරයි.
විශේෂයෙන්ම 2021 ජූනි 27දා දින සහිත පාර්ලිමේන්තු අනුකමිටු වාර්තාවේ 1 වැනි නිර්දේශය අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු.1,493ක උපරිම මිලක් නියම කර තිබුණද, 2021 අගෝස්තු 13දා දින පාරිභෝගික සේවා අධිකාරිය විසින් තරගකාරී සමාගමේ සිලින්ඩර සඳහා පමණක් රු.363ක මිල වැඩිකිරීමක් අනුමත කර තිබේ. එහිදී මෙරට ගෑස් වෙළෙඳපොළේ 80%ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගමට එම අවස්ථාව ලබානොදීම නිසා, මේ වනවිට එම සමාගමට එක් සිලින්ඩරයකට රු.847ක් බැගින් දිනකට රු.මිලියන 80ක සහ මසකට රු.බිලියන 2.2ක අලාභයක් විඳීමට සිදුව ඇති බවද ඔවුන් පවසයි.
මේ තත්ත්වය තුළ මෑතකදී සුසන්ත ද සිල්වා මහතා ප්‍රධාන විධායක නිලධාරී/සභාපති ලෙස පත්කරමින් පිහිටුවන ලද LP ගෑස් මිලදී ගැනීමේ ආයතනය වන සියොලිට් (පුද්.) සමාගමේ අරමුණ සහ එහි විශ්වාසනීයත්වය ප්‍රශ්න කර ඇති බවත්, මෙම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට, වෙළෙඳපොළේ 20%ක් පමණක් හිමි තරගකාරී සමාගම වෙනුවෙන් අධ්යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර, වෙළෙඳපොළේ 80%ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගම සඳහා අධ්යක්ෂ ධුරයන් තිදෙනෙකු පමණක් ලබාදීමද ප්‍රශ්නාර්ථයක්ම බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව මෙලෙස මතුවී ඇති ගැටලුවලට ඉක්මනින් විසඳුම් නොලැබුණහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.