මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහනේ තුන්වැනි කාර්ය රාමුවේ, තුන්වැනි කණ්ඩායමෙහි තොරාගැනීමේ ක්‍රියාවලිය යටතේ 2020 සැප්තැම්බර් මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කරන තෝරාගත් නිලධාරීන්ට පහසුකම් සැලසීම සඳහා 2020 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 269ක (ආසන්න වශයෙන් රු.මිලියන 457ක) ආධාරයක් ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබාදීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.
ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්ය රාමුව (2010-2013) සහ දෙවැනි කාර්ය රාමුව (2014-2017) පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කර තිබුණි. මෙම වැඩසටහන ඉදිරියට වසර 04ක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා තුන්වැනි කාර්ය රාමුව (2018-2021) 2018 වසරේදී ආරම්භ කරන ලදී. තවද මෙම වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු අවසන් කරනලද ශිෂ්‍යත්වලාභීන්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමටද ජපාන රජය එකඟත්වය පළකර ඇත. ඒ අනුව මෙම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 165ක් හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 06ක් ලබාදී ඇත.
මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් එලදායී ලෙස හා ආත්ම විශ්වාසයෙන් යුතුව සිය දායකත්වය ලබාදෙන බවත්, මෙම රටවල් දෙක අතර දැනට පවතින ද්වීපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද මෙම වැඩසටහන මගින් දායකත්වය ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමප්ර ප්‍රදාන ගිවිසුමකට එලැඹීම අද (13දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකර තිබේ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මෙන්ම, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ෆුසාතෝ ටනකා යන මහත්වරුන් විසින් අදාළ ලියකියවිලිවලට අත්සන් තබන ලදී.