ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කෙරෙන රබර් ටයර්වලට එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පැනවූ 2.18%ක ප්රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනලද අභියාචනයේ නඩු තීන්දුව පසුගිය ජූලි 11දා එරට වෙළෙඳ අධිකරණය මගින් ශ්‍රී ලංකාවට වාසිසහගත වන අයුරින් ලබාදී තිබේ.
මෙය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුව ලැබූ තවත් ජයග්‍රහණයක් බව එම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ආනයනය කරන මාර්ගයෙහි නොදිවෙන රබර් ටයර් (Off-the-road tyres) සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදෙන බවත්, එවන් අනුගෘහිත ආනයන හේතුවෙන් එක්සත් ජනපදයේ දේශීය රබර් කර්මාන්තයට හානි සිදුවීම හෝ හානිවීමේ තර්ජනයක් ඇති වන බවටත් කරුණු ඉදිරිපත් කරමින් එක්සත් ජනපද රබර් සම්බන්ධ කර්මාන්ත එකතුවක් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව (USDOC) සහ ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම (USITC) වෙත පෙත්සමක් ගොනුකර තිබුණි.