ඉහළ ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම්, නියාමන ප්‍රාග්ධන තත්ත්වයන් මත ඇතිකළ පීඩනය සහ මූල්‍ය ක්‍රියාකාරිත්වය නරක අතට හැරීම ශ්‍රී ලංකාවේ රක්ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) අනතුරු අඟවයි.
මෙම තක්සේරුව පැමිණෙන්නේ, පසුගිය සතියේ ෆිච් රේටින්ග්ස් විසින් එහි ශ්‍රේණිගත කර ඇති සියලුම ශ්‍රී ලාංකේය රක්ෂණකරුවන්ගේ ජාතික ශ්‍රේණිගත කිරීම් 'Watch Negative' ශ්‍රේණිය මත තැබීමෙන් පසුවය. මෙම ශ්‍රේණිගත කිරීම ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ඇඟවීමක් වන අතර, එහිදී 'Watch Negative' ශ්‍රේණියෙන් පෙන්නුම් කරන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිරිහීමට ලක්විය හැකි බවය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිය ඇතුළු විවිධ මූල්‍ය ආයතන පිළිබඳ මෑත කාලීන සෘණාත්මක ශ්‍රේණිගත කිරීම් ක්‍රියාමාර්ග තුළ රජයේ සුරැකුම්පත් සහ දේශීය බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ලද තැන්පතු මෙන්ම, සුරැකුම්පත් මත සිය ආයෝජන කළඹේ ආධිපත්‍ය දරන දේශීය රක්ෂණකරුවන්ට ඇති අවදානම අවධාරණය කරන බවද ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි.
ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම 'CC' වෙතින් 'C' දක්වා පහත හෙලූ අතර, මූල්‍ය ආයතන කිහිපයක ශ්‍රේණිගත කිරීම් 'Watch Negative' ශ්‍රේණිගත කිරීමෙහි තබා ඇත.