ඔස්ට්‍රේලියාව ඉලක්ක කරගෙන මිනිස් ජාවාරම් යාත්‍රාවකින් පැමිණි 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකේය නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට හරවා එවීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සඳහන් කළේ, මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු සහ අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසයි. මෑතකදී පැවති ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් සුව පවා එරට පවතින දැඩි දේශසීමා ආරක්ෂක ප්රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නොමැති බව මෙම පිරිස නැවත හරවා එවීමෙන් පැහැදිලි වන බවද ඔහු අවධාරණය කරයි.
"ඔස්ට්‍රේලියාව කිසි ලෙසකින්වත් මිනිස් ජාවාරම් සඳහා ඉඩ දෙන්නෙ නෑ. ඒ නිසා බෝට්ටුවලින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ දරන අයට සාර්ථක වීම සඳහා කිසිදු අවස්ථාවක් නෑ." යැයි පවසන මහ කොමසාරිස්වරයා, ඔස්ට්‍රේලියාවට නීත්‍යනුකූලව යා හැකි එකම මාර්ගය ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් මගින් පමණක් බව වැඩිදුරටත් අවධාරණය කරයි.