වසර 10ක් තෙක් පැරණි බස් රථ ආනයනය කිරීමට අවසරදීම නිසා මූලික අවස්ථාවේදී මිල ගණන් අඩු විය හැකි වූවත් ඉදිරි වසරවලදී, වාහන නඩත්තු කිරීම හා වාහනවල අමතර කොටස් සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදුවිය හැකි බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පවසයි.
වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය වන CMTA, වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් තිරසාර ප්‍රවේශයක ඇති අවශ්‍යතාව අවධාරණය කරමින් මෙම කරුණ පෙන්වා දෙයි.
මෙම නව ප්‍රතිපත්තිය පැමිණීමට ප්‍රථම ආනයනය කළ හැකි වූයේ වසර 05ක් පැරණි වාහන පමණකි. එබැවින්, මෙරට විදේශ විනිමය රටට අහිමි වීමට හේතුවිය හැකි මෙවැනි කෙටි කාලීන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී සුපරික්ෂාවට ලක්කර නැවතත් ඒ පිළිබඳව සළකා බැලිය යුතු බව CMTA නිර්දේශ කරයි.
සාමාන්‍යයෙන් වසර 10ක් හෝ ඊට පැරණි බස් රථ කිලෝමීටර මිලියන 1ක් දළ වශයෙන් ආවරණය කර ඇත. එය වසරකට කිලෝමීටර් 100,000කට සමාන වේ. වසර 10ට වඩා පැරණි බස් රථවල පාරිසරික හා ආරක්ෂිත බලපෑම්, මාර්ගවල ගමන් කිරීමට ඒවාට ඇති යෝග්‍යතාව පිළිබඳව හා විශේෂයෙන්ම එම බස් රථ නිසි ලෙස පරීක්ෂා නොකළහොත් මතුවිය හැකි ගැටලු පිළිබඳවද CMTA පෙන්වා දෙයි.
තවද, පැරණි වාහන ආනයනය කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම වාහන ආනයනකරුවන් හෝ විකුණුම්කරුවන්ට ප්රතිලාභ ලැබීමට ඇති හැකියාව වැඩි බවද CMTA පෙන්වා දෙයි. මෙම ආයතනවලට අඩු මිලට වාහන ලබා ගැනීමට හැකි අතර, වර්තමානයේ පවතින ඉහළ ඉල්ලුම අනුව ඒවා ක්‍රියාකරුවන්ට/ඒජන්තවරුන්ට නැවත විකිණීමේදී ඒ හරහා ඔවුන්ගේ ලාභ වැඩිකර ගැනීමටද ඉඩකඩ පවතියි.
මීට අමතරව, මෙම වාහන නැවත අලෙවි කිරීමට පෙර, එතෙක් වාහනය ධාවනය කර ඇති සැතපුම් ප්‍රමාණය වෙනස් කිරීමේ අවදානමක්ද පවතියි. මෙය ප්‍රතිපත්තියක් ලෙස ගෙන පරීක්ෂාවට ලක් නොකළහොත් මේ තත්ත්වය මෙරට තුළ වඩාත් ව්‍යාප්ත විය හැකි බවට CMTA දැඩි විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙයි.
ඒ අනුව, සියලුම පාර්ශවකරුවන්ට ප්රතිලාභ සැලසෙන ලෙස අදාළ බළධාරීන් විසින් නිසි පූර්වාරක්ෂාවන් ගැනීම හා තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙසට CMTA නිර්දේශ කරයි.