ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ගවලින් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට තවදුරටත් කටයුතු කරන අතර, එවැනි නිෂ්පාදන සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
එහිදී, කාන්තාවන්, පාසැල් දරුවන් මෙන්ම පුරුෂ පාර්ශ්වය විසින් කෙටි කලකින් සම සුදුපැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitinig Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුළ රටේ ජනතාවට හෙළිකළ බවද ඔවුන් පවසයි.
පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ආලේපන වර්ග 3ක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කොට පරීක්ෂණ වාර්තාවක් ලබාගත් බවත්, මෙම ආලේපනවල අඩංගු විය යුතු රසදිය ප්‍රමාණයන් SLS (743:2014) ප්‍රමිතියට අනුකූලව 1.0 mg/kg විය යුතු වුවත්, පරික්ෂා කරන ලද ආලේපනවල එකී අගයන් අතිශයින් ඉහළ අගයක් බව තහවුරු වූ බවත් එම අධිකාරිය පවසයි.
ඒ අනුව, එකී ආලේපන වර්ග විකිණීමට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයාට එරෙහිව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවත්, එහිදී, එක් ආලේපනයකට රු.25,000 බැගින්රු.75,000ක දඩ මුදලක් නියම කර අවවාද කොට ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.