ආහාර හා පාන වර්ග සඳහා වීදුරු බෝතල් නිෂ්පාදනය කරන එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදකයා වන PGP Glass Ceylon PLC සමාගම සහ HEINEKEN N.Vහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HEINEKEN Lanka ලිමිටඩ් එක්ව මි.ලී 625ක නැවත භාවිත කළ හැකි ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණයෙන් යුත් වීදුරු බෝතලයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන හා තිරසාරත්ව සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කර තිබේ.
ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපති බොනී හොබර්ච් මහත්මිය ඉදිරියේ දියත් කරන ලද මෙම නවතම නිෂ්පාදනය අති නවීන ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය යොදා ගනිමින් PGP Glass Ceylon PLC සමාගම විසින් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කොට ඇත.
ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සමාගමක් එවන් බෝතලයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව වන මේ තුළින් ප්ලාස්ටික් හා කඩදාසි මත පදනම් වූ ලේබල් භාවිතය විශාල ලෙස අවම කිරීමට හැකි වන අතර ආපසු ලබා දිය හැකි බෝතලයක් වීම හේතුවෙන් අපද්‍රව්‍ය අවම කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින් දිරි ගැන්වීමටද අවකාශ උදා වේ.
මෙම එළිදැක්වීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපතිනි බොනී හොබර්ච් මහත්මිය මෙහිදී සඳහන් කර සිටියේ, “තිරසාරත්වයේ නවෝත්පාදනය යනු සෑම විටම අපව දිරිමත් කරන්නක් වන අතර ඊට හොඳම කාලය දැන් උදා වී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බැවින් ඊට තිරසාත්වය හා නම්‍යශීලී බව තුළ ව්‍යාපාරික විශිෂ්ටත්වය ළඟා කර ගැනීමද ඉතා වැදගත් වෙනවා. යුරෝපා සංගමයේ කොටසක් ලෙස වගකීම් සහගත ව්‍යාපාරික හැසිරීම (RBC) ප්‍රවර්ධනය කිරීම අපි අඛණ්ඩව සිදු කරනවා. අනාගතයේදී ගෝලීය තිරසාර ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය සාධකයක් වෙනවා. එහිදී තිරසාර වටිනාකම් තුළින් තරඟකාරී වාසි උත්පාදනය කරනු ඇති අතර, මෙම ක්ෂේත්රයට කලින් ප්‍රවේශ වීම, තරඟකාරීත්වය අභිභවා යාමට සහ ව්‍යාපාරික වශයෙන් ඉදිරියෙන් සිටීමට නිෂ්පාදකයන්ට කළ හැකි වැදගත්ම දේ විය හැකියි. මෙම සමාගම එක්ව ඒ සඳහා ගෙන ඇති පියවර මා අගය කර සිටින අතර තිරසාරභාවය හා නම්‍යශීලීත්වය සම්බන්ධයෙන් තව දුරටත් නව්‍යකරණ නිෂ්පාදන හා සේවාවන් ඔවුන් සිදු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා” යනුවෙනි.