ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව 2019 නොවැම්බර් 26 වැනි දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කිහිපයක් තුළ පළ වූ ඇතැම් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුව තිබේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් පහත පරිදි පැහැදිලි කිරීමක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
2019 ඔක්තෝබර් 23 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.
එසේම, මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව, බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමේ දින සිට දින 30ක් ඇතුළත ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයෙහි ආයෝජනය කිරීම සඳහා වූ පිළිගත හැකි ආයෝජන යෝජනාවක්, ප්රාග්ධනය හඳුන්වාදීමට අදාළ අරමුදල් පිළිබඳ තහවුරුවක් සහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක්ද සහිතව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට එම ආයතනයට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙන ලදී.
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය විසින් එම සමාගමෙහි ආයෝජනය කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව තුනක් ඇති බවට කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම්දී ඇතැයි කියා එම මාධ්‍ය වාර්තා සඳහන් කළද එබඳු කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙතෙක් ලැබී නොමැත.
ඒ අනුව, අදාළ පුවත්පත් හා පුවත් වෙබ් අඩවි තුළ විභව අයෝජකයන් සම්බන්ධව පළ වී ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර සිටියි.
ඉහත කරුණු සැලකිල්ලට ගෙන, බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කළ දින සිට දින 60ක් ඉක්මවූ පසුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කළ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම පිළිබඳව මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණයක් ගත යුතු බව වැඩිදුරටත් දැනුම්දීමට කැමැත්තෙමු.