විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (17දා) ශ්‍රී ලංකාවට පැමිණ සිටින, ආසියාව හා න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු උපකමිටුවේ සභාපති අමි බේරා (එම්.ඩී.) මහතා සහ පාර්ලිමේන්තුවේ විධික්රම පිළිබඳ කමිටු, අයවැය කමිටු සහ ආචාරධර්ම පිළිබඳ කමිටු සාමාජික, නියෝජිත ජෝර්ජ් ඊ.බී. හෝල්ඩින් මහතා සහ කොංග්රස් කමිටු කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වන එක්සත් ජනපද කොංග්රස් නියෝජිත කණ්ඩායම හමුවී සාකච්ඡා පැවැත්වීය.
එක්සත් ජනපද කොංග්රස් නියෝජිතයින් පිළිගත් අමාත්‍ය ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩිදියුණු කරන නව සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවට සුවිශේෂී වන අවධියක මෙම සංචාරය සිදුවූ බව අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළ අතර, දෙරටේ විශේෂිත අංශවල නියෝජිතයින් සමඟ ඒ ඒ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකළ සංවාද පැවැත්වීම තුළින්, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතාවය පුළුල් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව කරුණු පැහැදිළි කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ වැදගත් උපායමාර්ගික පාර්ශ්වකරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකාව සමඟ බහු ආංශික සබඳතාව වර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ ඇති බලවත් කැමැත්ත කොංග්‍රසයේ නියෝජිතවරු දෙදෙනා පැහැදිළිවම ප්‍රකාශ කළහ. දෙරට අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කරමින් නියෝජිත බේරා මහතා හා නියෝජිත හෝල්ඩින් මහතා දෙරටේම සෘජු විදේශීය ආයෝජන ඉහළ නැංවීමට එක්සත් ජනපද පාර්ශ්වයේ කැමැත්ත පළ කළහ. ලෝක සිතියමේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම හඳුනාගනිමින්, මෙම දිවයින සමඟ සමුද්‍රීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.