ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.4%ක් අයත් වන බවත්, එය කෘෂිකාර්මික ක්ෂේත්රයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළ අගයක් ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
එමෙන්ම, මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වාර්ෂික නිමැයුම් අගය ඇ.ඩො.බිලියන 03ක් හෙවත් රු.බිලියන 483 ක් පමණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති “Construction Expo” ඉදිකිරීම් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙම අවස්ථාවට චීනයේ ලියෝනිංග් ප්‍රාන්ථයේ වාණිජ දෙපාර්තමේන්තු ප්‍රධානී ක්යු වැංලියැංග්, ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න, Construction Expo ප්‍රදර්ශනයේ සංවිධාන කමිටු සභාපති මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා (පෞද්.) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අර්ජුන් ධර්මදාස යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.