ත්රස්තවාදියෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් තමා ශ්‍රී ලංකාවට දක්වන ආදරය හා බැඳීම අත්නොහරින බවත්, ශ්‍රී ලංකාව යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබීම ගැන තමාට සතුටක් දැනෙන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය බිරිඳ අහිමි වූ ප්‍රකට ඇමෙරිකානු මැණික් ව්‍යාපාරික ඇලන් ලුවිස් මහතා පවසා සිටියේය.
ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ, පසුගිය 29දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මණ සම්මන්ත්රණ ශාලාවේදී ඇරඹුණු FACETS 2019 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වෙමිනි. මෙම ප්‍රහාරයේදී ලුවිස් ඇලන් මහතාගේ බිරිඳ, මොනික් ඇලන් සමග සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උදෑසන ආහාර ගනිමින් සිටියදී තුවාල ලබා දිවි බේරාගත් ජේසන් පුතුද ඔහු සමග කොළඹට පැමිණ සිටියේය.
රු.මිලියන 100ක වියදමින් ඇලන් ලුවිස් මහතාගේ පවුල රත්නපුර ශික්ෂණ රෝහලට නව ළමා වාට්ටු සංකීර්ණයක් තනාදීමට කටයුතු කළ අතර, එහි පළමු අදියරේ වැඩ අවසන්ව ඇති ආකාරය නැරඹීමට බිරිඳ සහ පුතුන් තිදෙනා සමග පසුගිය අප්‍රේල් මස මෙරටට පැමිණි අවස්ථාවේදී මොනික් මහත්මිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය.
ප්‍රහාරයට පෙර දින බිරිඳ සමග රත්නපුරයට ගොස් යළි කොළඹ බලා පැමිණෙන අවස්ථාවේදී මෙන්ම, ඇය සිය දිවියෙන් සමුගන්නා අවසන් මොහොත දක්වාම එම වාට්ටු සංකීර්ණයේ ඉතිරි මහල් ඉක්මණින් ඉදිකර දෙන්නැයි ඇය තමාට කියා සිටි බව ඔහු කියා සිටියේය. වර්ෂ 1978 සිටම ශ්‍රී ලංකාව සමග දැඩි සබඳතාවක් පවතින තමා, ශ්‍රී ලංකාවෙන් මිලදීගත් මැණික් අලෙවියෙන් ලැබූ දෙයින්, ශ්‍රී ලංකාවටත් යමක් කළ යුතුය යන චේතනාවෙන් මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන FACETS ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දරනු ලැබේ. පසුගිය 29දා ආරම්භ වූ ප්‍රදර්ශනය සැප්තැම්බර් 01දා අවසන් වීමට නියමිතය. මෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද සහභාගී වූ අතර, වෙනදා මෙම ප්‍රදර්ශනය මඟනොහරින රිෂාඩ් බදියුදීන් මහතා මෙවර සමාරම්භයේදී දැකගත නොහැකි වීමද විශේෂත්වයකි.