ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනක් පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා මූලික අදියරේ පවතින බවත්, ඒ ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසාර මාවතකට ගෙන යා හැකි බවට 'ප්‍රමාණවත් සහතිකයක්' අවශ්‍ය වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
රොයිටර් වෙත ප්‍රකාශයක් කරමින් IMF හි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි පැවසුවේ, IMF කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා අඟහරුවාදා ශ්‍රී ලංකා දූත පිරිසක් සමග ණය ලබාදීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ සාකච්ඡා කළ බවයි.
"ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසාර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතුයි" නොසාකි පැවසීය.
ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයට ප්‍රතිචාර දැක්වීමේ විරෝධතා අඟහරුවාදා මාරාන්තික බවට පත් වීමෙන් පසුව ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබූ අතර, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ගෙවුම් ශේෂ ගැටලුව විසඳීමේ ආධාරයක් ලෙස රටට කඩිනම් මූල්‍යාධාරයක් (RFI) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධිමත් ඉල්ලීමක් කර තිබූ බවද සඳහන් කළේය.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන්ම දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් විඳින දුෂ්කරතා පිළිබඳව ඉතා සැලකිලිමත් වන බවද නොසාකි පැවසීය.
එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි බව IMF කාර්ය මණ්ඩලය පසුගිය මාසයේ වාර්ෂික ආර්ථික සමාලෝචනයකදී තීරණය කර ඇති බවත්, කඩිනම් මූල්‍යාධාරයක් (RFI) ඇතුළු ඕනෑම IMF ණය දීමකට පෙර ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමට රට පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
එවැනි ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාමාන්‍යයෙන් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ නැවත ගොනු කිරීම අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට එරටට විශාලතම ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන්ගෙන් අයෙකු වන චීනයේ සහයෝගීතාවද අත්‍යවශ්‍ය බව නොසාකි පැවසීය.
කොවිඩ්-19 වසංගතය අතරතුර රටවලට සහාය වීම සඳහා IMF අඩු කොන්දේසි සහිත කඩිනම් මූල්‍යාධාර (RFI) පුළුල් ලෙස භාවිත කළ අතර, ස්වාභාවික විපත්, ගැටුම් සහ භාණ්ඩ මිල කම්පනවලින් පසු ගෙවුම් ශේෂ ගැටලු ලිහිල් කිරීමටද ඔවුන් එවැනි ණය ලබා දී ඇත.
"ණය තිරසාරභාවය විසඳන බවට ප්‍රමාණවත් සහතිකයක් ලැබුණු පසු, ශ්‍රී ලංකාව සඳහා කඩිනම් මූල්‍යාධාරයක් (RFI) සඳහා මෙම සලකා බැලීම් පරීක්ෂා කිරීමට අවශ්‍ය වනු ඇති" නොසාකි පැවසීය.
එමෙන්ම, වැඩසටහන් ඉලක්ක සහ කොන්දේසි ඇතුළුව ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලක නිශ්චිත සැලසුම රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර පුළුල් සාකච්ඡා හරහා එකඟ විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින නොසාකි වැඩිදුරටත් පැවසීය.