'ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති' බවට මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් එලැඹ ඇති නිගමනයේදී ඔවුන් සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින්, එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ බැංකු අංශය පිළිබඳව මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු ඉස්මතු කරයි.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වන මහ බැංකුව පෙන්වා දෙන්නේ, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, ණය සහ මුදල් සම්මත වර්ධනය පහළ යෑම සහ ආර්ථික වර්ධනය මන්දගාමීවීම හේතුවෙන් පසුගිය මාස 11 තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගත් බවයි. මෙම ක්‍රියාමාර්ග අතර, අවස්ථා දෙකකදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතකාංක 2.50කින් අඩු කිරීම තුළින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ආදායම් ජනිත කරවන ක්‍රියාකාරකම්වල ආයෝජනය කිරීම සඳහා රු.බිලියන 150ක පමණ අමතර අරමුදල් ප්‍රමාණයක් සැපයීම සිදුවූ බවද මහ බැංකුව පවසයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා දේශීය මුදල් වෙළෙඳ පොළෙහි රුපියල් ද්රවශීලතාවද වර්ධනය වූ බවත්, 2019 මැයි සහ අගෝස්තු මාස තුළදී පියවර දෙකකදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් අඩු කිරීම හරහා තවදුරටත් මුදල් වෙළෙඳ පොළෙ පොලී අනුපාතික අඩුවූ බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර, 2019 අප්‍රේල් මාසයේදී බලපත්‍රලාභී බැංකු මත පනවනු ලැබූ තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතික (මෙය 2019 සැප්තැම්බර් මාසයේදී ඉවත් කරන ලදී.) මගින් බැංකු අතර තැන්පතු රැස්කිරීම සඳහා පැවති අහිතකර තරගකාරීත්වය සීමාකිරීම සහ බැංකුවලට ණය පොලී අනුපාතික පහළ දැමීමට සහාය ලබාදීම අපේක්ෂා කළ බවද පවසන මහ බැංකුව, බැංකු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තාවකාලිකව පනවනලද තැන්පතු මත වූ උපරිම සීමාව හේතුවෙන් 2019 අප්‍රේල් මාසය අවසානයේ සිට මාස හතරක කාලයක් තුළදී බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) පදනම් අංක 284කින් පහළ ගිය බවද අවධාරණය කරයි.
කෙසේ වෙතත්, බැංකු සමග අඛණ්ඩව සාකච්ඡා කළද, කෙටි කාලීන අරමුදල් සහ රජයේ සුරැකුම්පත් මත වූ පොලී අනුපාතික මෙන්ම, තැන්පතු පොලී අනුපාතිකවල පහළ යෑමට අනුකූලව බොහෝ වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික පහළ යෑමේ නැඹුරුවක් පෙන්නුම් නොකළ බව පවසන මහ බැංකුව, මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව 2019 සැප්තැම්බර් මස 24 වැනි දින බලපත්‍රලාභී බැංකු ණය පොලී අනුපාතික මත උපරිම සීමා පනවන ලද බවද පෙන්වා දෙයි. එහිදී, අඩු කළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, අඩු වූ මුදල් වෙළෙඳ පොළ පොලී අනුපාතික, අඩු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අඩු වූ තැන්පතු පොලී අනුපාතික හේතුවෙන් අරමුදල් පිරිවැය සැලකිය යුතු ලෙස පහළ යෑම සමග ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා බැංකුවලට ප්‍රමාණවත් කාලයක් ලබාදීම තුළින්, බැංකු පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වයට මෙන්ම, ලාභදායීත්වයට ඇතිවන බලපෑම අවම කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ බවද අවධාරණය කරයි. එහිදී, අනෙකුත් සාධක ස්ථාවරව තබාගනිමින් ණය පොලී අනුපාතික මත සීමා පැනවීම තුළින් බැංකු පද්ධතියේ පොලී ආන්තිකවල සැලකිය යුතු වෙනසක් නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන බවත්, 2020 වසරේ මාර්තු මාසයේදී මෙම ක්‍රියාමාර්ගය නැවත සමාලෝචනය කරන බවටද මහ බැංකුව නිවේදනය කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
තවද, වඩාත් තාත්ත්වික නාමික හා මූර්ත පොලී අනුපාතිකයන්ගේ සහාය ඇතිව ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දෙන මහ බැංකුව, එමගින් ණය සඳහා වන ඉල්ලුම වැඩිවනු ඇති බවද අපේක්ෂා කරයි. එය පහළ පොලී අනුපාතික යටතේ ණය ගන්නන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිදියුණු වීම සමග ඉදියේදී බලපත්‍රලාභී බැංකු ශක්තිමත් කිරීමට සහාය වනු ඇති අතර, අක්‍රීය ණය ඉහළ යෑමේ අභියෝගය සඳහාද විසඳුමක් වනු ඇතැයි මහ බැංකුව පවසයි. එම නිසා මූඩීස් ආයතනය දරන අදහස් මෙන් නොව, බලපත්‍රලාභී බැංකුවල ණය අනුපාතික සීමා පැනවීම ඒවායේ ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ධනාත්මකව බලපාන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස බව ඔවුන් අවධාරණය කරයි.