නව ජර්මානු තිරසාර සැපයුම් දාම පිළිබඳ පනතේ (German sustainable supply chain due diligence act) තිරසර දැක්ම වර්ධනය කිරීම සහ එහි නීති මගින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා ඇති අභියෝග සහ අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
පසුගිය අප්‍රේල් 25 වැනි දින කොළඹදී පැවති මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK Sri Lanka), එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව සංවිධානය කරනු ලැබීය.
මෙහිදී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, AHK ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් මෙනවිය, UNIDO හි ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥ ජෙයිරෝ ඇන්ඩ්‍රෙස් විලාමිල්-ඩියස් මහතා ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වන ලදී.
වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපතිවරයා සහභාගී වූ අතර, ඊට අමතරව මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ශ්‍රී ලංකාවේ අපනයන ආශ්රිත සංවිධාන, සංගම්, ආයතනික ප්‍රධානීන් සහ අපනයනකරුවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.