හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සහ කොර්ඩීලියා කෲස් ලයින්ස් (Cordelia Cruise Lines) සමාගමේ මෙරට නියෝජිත හේලීස් සමාගම අතර ඇති සහයෝගයේ ප්‍රතිඑලයක් ලෙස මේ වසරේ ජුනි සහ සැප්තැම්බර් දක්වා කාලය තුළ සුඛෝපභෝගී මගී නෞකා13ක් වරාය වෙත පැමිණීමට නියමිතය.
ඉන්දියානු සංචාරකයන්ට ආකර්ෂණීය නිවාඩු පැකේජ පිරිනමන කෝර්ඩීලීයා කෲස් සමාගමට අයත් ‘Empress’ නෞකාව, HIP වෙත සිදුකළ මංගල චාරිකාවත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා ඇරඹිණි. මගීන් 745ක් රැගත් නෞකාව දිවයිනේ තවත් ප්‍රධාන වරායන් 3ක ගොඩබසිනු ඇත.
“සුඛෝපභෝගී මගී නෞකාවල සිට අර්ධ සුඛෝපභෝගී සහ සාමාන්‍ය මගී නෞකා දක්වා ඕනෑම නෞකාවක් සඳහා HIP වෙත සේවා සැපයීමට පුළුවන්. මීටර 17ක ගැඹුරක් සහිත HIP හි ඕනෑම නෞකාවකට නැංගුරම් ලෑ හැකි අතර, නවීන වරායක් ලෙස, නැව්, කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ අවශ්‍යතා සැපිරීමට මෙන්ම, ආගමන, විගමන, රේගු සේවා ලබාදීමට අප සූදානම්ව සිටිනවා. හේලීස් සමාගම සමඟ ඇති මෙම සම්බන්ධතාවය, සංචාරක නැව් ගමනාන්තයක් ලෙස HIP ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙසයි, අපි දකින්නේ. අප වරාය කාර්යබහුල අගනගරයෙන් බැහැරව හරිත පරිසරයක පිහිටීම අමතර ආකර්ෂණයන් වෙනවා මෙන්ම, ප්‍රධාන නාවික මාර්ගවලට සමීපව පිහිටීම ඉන්දියන් සාගරයේ ගමන් කරන ඕනෑම නෞකාවකට පහසුවක්ද වෙනවා. ලෝකයේ සුඛෝපභෝගී සංචාරක නැව් වරායන් 2,000කට අධික ප්‍රමාණයක් තිබෙන අතර, නවීන පහසුකම්වලින් යුත් අභිනව වරායක් වන HIP, මෙම වරායන් අතරට එක්වීමට කදිම සුදුස්සෙක්. ඒ වගේම, වරායේ සිට ඉතා කෙටි දුරකින් සංචාරක ගමනාන්ත කිහිපයක් පිහිටා තිබිම අමතර වාසියක් වෙනවා” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කළේය.
හේලීස් ඇඩ්වාන්ටිස් ලොගිස්ටික්ස් සමාගම, හම්බන්තොට වරායෙන් ගොඩ බසින සංචාරකයන්ට ගාලු ලන්දේසි කොටුව, දියලුම ඇල්ල, යාල, උඩවලව සහ බූන්දල ජාතික වනෝද්‍යාන හරහා ගමන් කිරීම හා කැස්බෑ අභිජනනාගාරය නැරඹීම වැනි විනෝදස්වාද ක්‍රියාකාරකම් රැසක් ලබාදීමට අපේක්ෂා කරයි. අකුරැස්ස තේ කම්හල නැරඹීම, උණවටුන වෙරළ තීරය මෙන්ම සාප්පු සවාරි ද මෙයට ඇතුළත්ය. කෝර්ඩීලීයා කෲස්හි, නැව් නියෝජිතයා ලෙස හේලීස් ඇඩ්වාන්ටිස් හි අනුබද්ධ ආයතනයක් වන ක්ලැරියොන් ශිපින්ග් සමාගම කටයුතු කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්.ඩී.බර්නාඩ්, කෝර්ඩීලීයා කෲස් ලයින්ස්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජර්ගන් බේලම්, හේලීස් ඇඩ්වාන්ටිස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්‍යරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස්, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂක එම්.කේ.ඩි. අධිකාරී, දකුණු නාවික ආඥාපති රියර් අද්මිරාල් ටී.එස්.කේ පෙරේරා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත, නියෝජ්‍ය ආගමන පාලක ජයන්ත රත්නායක යන මහත්ම මහත්මීන් නෞකාව පිළිගැනීමේ අවස්ථාවට සහභාගි වූහ. HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද මෙම අවස්ථාවට එක්වූහ.