ලැයිස්තුගත සමාගම් කොටස්වල මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2020 මාර්තු 11 වැනි දින හෝ ඊට ආසන්න කාලයකදී ආයෝජකයන්ට ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන්ගේ සහ ලියාපදිංචි ආන්තික ණය පහසුකම් සැපයුම්කරුවන්ගේ සේවාදායකයන්ට ණය සහනයක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ අනුව ආයෝජකයින්ගේ ණය සඳහා පොලී ගෙවීමට ඇති කාලය 2020 මාර්තු 11දා සිට ආරම්භ වන පරිදි දීර්ඝ කර තිබේ.
පවත්නා කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020 මාර්තු 20 වැනි දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පුළුල් පරාසයක විහිදුණු ෆිස්කල් හා මූල්‍ය සහන ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇත.
එබැවින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරණවල ප්රතිලාභ තම ගනුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසට උපදෙස් දී ඇති අතර, 2020 ජුනි 30 වැනි දින දක්වා තම සේවාදායකයින්ට ලබාදී ඇති ණය සඳහා පොලිය අය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දෙනු ලැබේ.
මෙය තාවකාලික පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වරින් වර මෙම නියෝගයේ බලපෑම නිරීක්ෂණය කොට සමාලෝචනය කරනු ලබන අතර, අවශ්‍ය වුවහොත් 2020 ජුනි 30 වැනි දිනට පෙර හෝ පසුව මෙම නියෝගය සංශෝධනය කිරීමට පියවර ගනු ඇත.