කොළඹ කොටස් වෙළෙඳපොළ අද (18දා) සිට බලපැවැත්වෙන පරිදි ගනුදෙනු දින 5ක් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 15දා එය තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළෙඳපොළට සම්බන්ධ තවත් පාර්ශ්ව කිහිපයකින්ද එවැනි ඉල්ලීම් ලැබී තිබූ බව කියැවෙයි.
ඒ අනුව, විනිමය කොමිෂන් සභාව මෙම යෝජනා සලකා බලා රටේ වර්තමාන තත්ත්වය කොටස් වෙළෙඳපොළට ඇතිකළ හැකි බලපෑම, විශේෂයෙන් සුරැකුම්පත් වෙළෙඳාම සඳහා විධිමත් හා සාධාරණ වෙළෙඳපොළක් පවත්වාගෙන යාමේ හැකියාව ඇගයීමට ලක්කරමින්, 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 30 වැනි වගන්තියේ අඩංගු විධිවිධාන අනුව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේවෙතත්, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ කුලුණක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ සතියක් පුරා මේ ආකාරයෙන් ගනුදෙනු සඳහා වසා දැමීම රටක් තාවකාලික බංකොලොත් බව ප්‍රකාශ කිරීම මධ්‍යයේ, ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගමන් කරන තවත් නරක සංඥාවක් බවට විවේචන එල්ල වෙමින් තිබේ. එනම්, මෙය රටේ ව්‍යාපාරික පරිසරයේද අර්බුදයක් පවතින බවට ලෝකය වෙත කෙරෙන ඇඟවීමක් නිසා, රටේ විශ්වාසය තවදුරටත් පහත වැටීමට මෙම පියවර හේතුවනු ඇති බව කියැවේ.
රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාව මත ගනු ලැබූ මෙම තීරණය හමුවේ, විනිමය කොමිෂන් සභාවේ මතය වූයේ, ආයෝජකයන්ට සහ අනෙකුත් වෙළෙඳපොළ සහභාගි වන්නන්ට දැනුවත් ආයෝජන තීරණ ගැනීමට වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව වඩාත් පැහැදිලි බවක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම්, එය ඔවුන්ගේ යහපතට හේතුවනු ඇති බවය.
කෙසේ වෙතත්, ඇතැම් තැරැව්කරුවන් පවසා සිටියේ, වසා දැමීමේ තීරණය ප්‍රාග්ධන වෙළෙඳපොළ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් නොගෙන සිදුකළ ක්‍රියාවක් බවයි. පසුගිය සතිය තුළ අවස්ථා ගණනාවකදී කොටස් වෙළෙඳපොළ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 5%කට වඩා පහත වැටීම නිසා අවස්ථා කිහිපයකදීම ගනුදෙනු තාවකාලිකව නවතා දැමුණු අතර, රටේ දේශපාලන තත්ත්වයද ගින්නට තෙල් එකතු කරමින් කොටස් වෙළෙඳපොළට පැමිණෙන විදේශ ආයෝජකයන්ද මේ වනවිට බියෙන් පසුවන තත්ත්වයක මෙම තීරණය නොගත යුතුව තිබූ එකක් බවට එම විවේචනයන් වැඩිදුරටත් එල්ල වෙයි.