එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිසක් ජුනි මස 26දා සිට 29දා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම දූත පිරිසේ සාමාජිකයන් අතරට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ඇතුළත් වේ.
ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ, පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන්, ආර්ථික විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවිධාන හමුවීමටද අපේක්ෂාවෙන් පසුවෙයි.
උදව් අවශ්‍ය කරන ශ්‍රී ලාංකිකයන්ට, වත්මන් ආර්ථික අර්බුදය විසඳාලීම සඳහා වැඩ කරමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ අනාගතය වෙනුවෙන් තිරසාරවූත්, සර්වග්රාහී වූත් ආර්ථිකයක් සැලසුම් කරමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට එක්සත් ජනපදයෙන් සහාය ලබාදිය හැකි වඩාත්ම ඵලදායී ක්‍රම පිළිබඳව ගවේෂණය කිරීමට ඒ සියලු රැස්වීම්වලදී මෙම දූත පිරිස කටයුතු කරනු ඇති බවද තානාපති කාර්යාලය කියයි.
"ශ්‍රී ලාංකේය ජනතාවගේ සුරක්ෂාව සහ සෞභාග්‍ය සම්බන්ධයෙන් අපේ ඇති අඛණ්ඩ කැපවීම මේ සාචාරයෙන් පෙන්නුම් කෙරෙනවා." යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චංග් පවසයි. "ඔවුන්ගේ ඉතිහාසයේ දරන්නට වූ ඉතාමත්ම බරපතළ ආර්ථික අභියෝග ගණනාවකට ශ්‍රී ලාංකිකයන් විසින් මුහුණ දෙන මේ අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා සහාය දීමටත්, මෙරට ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් අප දරන වෑයම් අන් කවරදාකටත් වඩා වැදගත් වෙනවා."
ගතවූ දෙසතියේදී, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නව මූල්‍යකරණය වශයෙන් ඇ.ඩො.මිලියන 120ක්ද, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සඳහා ඇ.ඩො.මිලියන 27ක දාකයක්තයක්ද, ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙසම බලපෑමට ලක්වූ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා මානුෂී්ය ආධාර වශයෙන් ඇ.ඩො.මිලියන 5.75ක්ද ලබාදෙන බව එක්සත් ජනපදය නිවේදනය කරන ලදී. එසේම, අවදානමට ලක්වී සිටින ජනතාව වෙත ජීවනෝපාය ආධාර ලබාදීම පිණිස සහ, ආර්ථිකය ස්ථායී තත්ත්වයකට ගෙනඒම සඳහා කරන මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට නව ප්‍රදාන වශයෙන් ඇ.ඩො.මිලියන 6ක්ද එක්සත් ජනපදයෙන් නිවේදනය කර තිබේ.
ඉදිරි මාසවලදී ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආර්ථිකය යළි පණගන්වද්දී, ආහාර අනාරක්ෂිතභාවය මැඬ පැවැත්වීමේදී, සහ සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රවර්ධනය කරන විට, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට නොකඩාව සහාය ලබාදෙනු ඇති බවද තානාපති කාර්යාලය පවසයි. වත්මන් අර්බුදයට වඩාත්ම කල් පවතින විසඳුම සැපයිය හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණයටද එක්සත් ජනපදය දැඩි ලෙස සහාය දක්වන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.