ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. ආනන්ද නාගේශ්වරන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් කාර්තික් පාණ්ඩේ යන මහත්වරුන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූහ.
නියෝජිත පිරිස මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා ඇති අතර, දෙපාර්ශ්වය අතර සාකච්ඡා අවංක, සුහද සහ ඵලදායි අයුරින් පැවැත්වුණු බවද සඳහන් වේ.
ඉන්දියාව විසින් මෑත කාලයේදී පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදුන් ඇ.ඩො.බිලියන 3.5කට අධික ආර්ථික, මූල්‍ය සහ මානුෂීය සහයෝගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ක්‍රියාවට නංවන “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (Security and Growth for All in the Region - SAGAR) යන දැක්ම මත පදනම් වන බව ඉන්දීය නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දී ඇත.
එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඉන්දීය පාර්ශ්වය ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා විසින් දක්වන කැපවීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළකර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉන්දියාව විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අදහස් ඵලදායි ලෙස හුවමාරු කරගෙන තිබුණි.
එමෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ප්රයත්නයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි. මෙම සන්දර්භය තුළ යටිතල පහසුකම්, අන්තර් සම්බන්ධතා, පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර ඇතුළු ඉන්දු - ශ්‍රී ලංකා ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ සහ දෙරට අතර ආර්ථික සබඳතා ගැඹුරු කිරීමේ වැදගත්කමද දෙපාර්ශ්වය විසින් අවධාරණය කර තිබේ.
මීට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමගද සාකච්ඡාවක නිරත වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ නුදුරු දිනයකදී ද්විපාර්ශ්වික සංචාරයක නිරත වීම සඳහා සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට විදේශ ලේකම්වරු දෙපළ මෙහිදී එකඟ වී ඇත.