ශක්තිමත් පෞද්ගලික අංශයක සහාය ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වන සාධකයක් බවත්, අර්බුදයේ බලපෑමට ලක්වූ ජනතාවට සිය ජීවිත යළි ගොඩනගා ගැනීම පිණිස රැකියා සහ ජීවනෝපාය නිර්මාණය කළ යුතුව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියානු කලාප වැඩබලන අධ්යක්ෂ ශලාබ් ටැන්ඩන් මහතා පවසයි.
ලෝක බැංකු සමූහයේ විධායක අධ්යක්ෂ මණ්ඩලය විසින් 2024-27 කාලසීමාවට අදාළව ශ්‍රී ලංකාව සඳහා වූ නව හවුල්කාරීත්ව කාර්යරාමුව (Country Partnership Framework – CPF) පසුගියදා සාකච්ඡාවට බඳුන් කරමින් ටැන්ඩන් මහතා මෙසේ අදහස් පළ කළේය. මෙම කාර්යරාමුව මගින් දැඩි අවධානයක් යොමුකර ඇත්තේ, පවත්නා ආර්ථික අර්බුදය සහ ඉන් ගොඩඒමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙනි. එහිදී පෙන්වා දී තිබුණේ, 2021 සහ 2022 කාලයේදී ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාව අතරට තවත් මිලියන 2.5ක් එකතු වී ඇති බවත්, 2023 වනවිට එය 2.4%කින් ඉහළ යනු ඇති බවට අනුමාන කර බවත්ය.
"ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමෙහි ලා, පෞද්ගලික අංශයේ නායකත්වයෙන් යුතු වර්ධනයක් දිරිගැන්වීම අතිශය වැදගත් වෙනවා. අපනයනයට නැඹුරු අංශ වෙත සහාය දැක්වීම, දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර දක්වන ආයෝජන දිරිගැන්වීම සහ ඩිජිටල්කරණය සවිබල ගැන්වීම වැනි අංශ හරහා තිරසාර සංවර්ධනයට දායක වීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව අපේක්ෂා කරනවා" යැයි ටැන්ඩන් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී, මූලික ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවීමට සහාය වීම සඳහා ඇ.ඩො.මිලියන 700ක වැඩසටහන් දෙකක් අනුමත කිරීමට ලෝක බැංකු අධ්යක්ෂ මණ්ඩලය ක්‍රියාකර තිබේ. මෙහි පළමු වැනි වැඩසටහන ආර්ථික ස්ථායීභාවය නැවත ඇති කිරීම සඳහා අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණවලට සහාය ලබාදෙනු ඇති අතර, මේ යටතේ ඇ.ඩො.මිලියන 500ක් සමාන වාරික දෙකක් එකඟ වූ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත රාජ්‍ය අයවැයට මුදා හැරෙනු ඇත. එසේම, දෙවැනි වැඩසටහන වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 200ක්, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් උදෙසා වෙන්කර ඇති බව ලෝක බැංකු සමූහය වැඩිදුරටත් නිවේදනය කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, ලෝක බැංකුවෙන් ඇ.ඩො.මිලියන 700ක් අනුමත වී ඇත්තේ 2%ක් වැනි සුළු පොලී අනුපාතයකට බවයි. එහි පළමු වාරිකය ලෙස ඇ.ඩො.මිලියන 250ක් ඊයේ (29දා) ලැබුණු බවත්, දෙවැනි වාරිකය ලෙස ඇ.ඩො.මිලියන 250ක් ඔක්තෝබරයේදීත්, තුන්වැනි කොටස ලෙස ඇ.ඩො.මිලියන 200ක මුදල අස්වැසුම වැඩසටහන සඳහාත් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.