වර්තමාන ආර්ථික අර්බුධයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා කරුණු 10කින් යුතු ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE) නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් කටයුතු කර තිබේ.
වසර 70කට වැඩි කාලයක් තුළ මතුවූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින පසුබිමක, මෙම අර්බුධය පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇති බව ඔවුන් පවසයි. වැරදි කළමනාකරණය හෙවත්, සම්පත් අවපාලනය මෙම තත්ත්වය ඇතිවීම පිටුපස ඇති ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන ඔවුන්, මෙම තත්ත්වය උග්‍ර අර්බුදයක් දක්වා ගමන් කිරීමට ඇතැම් සාර්ව ආර්ථික සාධකවල බලපෑම් මෙන්ම, කොවිඩ්-19 වසංගතය පැතිරීමද ප්රමුඛත්වයක් ගත්බව පවසයි.
ඒ අනුව, මෙම අර්බුධයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට ඔවුන් ඉදිරිපත් කළ කරුණු අතර, පළමු වැනි කරුණ ලෙස, කඩිනම් දේශපාලන හා පරිපාලන ස්ථාවරත්වයක අවශ්‍යතාව අවධාරණය කෙරෙයි. මින් අදහස් වන්නේ විධායක ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අඩු කිරීම මෙන්ම, කැබිනට් මණ්ඩලය ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු සඳහා අදාළ විශේෂඥතාව සහ පළපුරුද්ද ඇති වෘත්තිකයන් පත්කිරීමය. දෙවැනි කරුණ නම්, ජනතාව මුහුණදෙන ක්ෂණික මූල්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ අර්බුදයට පිළියම් යොදන අතරම, විදේශ මුදල් රටට ගෙනඑන ක්‍රියාකාරකම්වල නියැලෙන මෙහෙයුම්කරුවන්ට සහාය වීමය. තෙවැනි කරුණ නම්, ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සම්බන්ධ වීමෙන් මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මිත්‍ර රටවල් සමග සම්බන්ධ වීමෙන් දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 'Sri Lanka First' උපාය මාර්ගය අනුගමනය කිරීමය. සිව්වැනි කරුණ නම්, රජයේ වියදම් අවම කිරීම සහ රජය සතු ආයතන කාර්යක්ෂම සහ ස්වයංපෝෂිත කිරීමය. මෙයින් අදහස් කරන්නේ, කාර්ය සාධනය සහ ඵලදායීතාව කෙරෙහි අවධානය යොමු කිරීමය. පස්වැනි කරුණ වන්නේ දේශපාලන ව්‍යුහයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර යහපාලනයක් ඇති කිරීමය.
හයවැනි කරුණ වන්නේ, අපනයන මූලික කරගත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හරහා කාර්මීකරණය වැඩිදියුණු කිරීමය. මින් අදහස් වන්නේ, සෘජු විදේශ ආයෝජන (FDIs) දිරිමත් කරන ව්‍යුහයක් ගෙනඒම සමග ඇතැම් මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමය. හත්වැනි කරුණ වන්නේ සාම්ප්‍රදායික හා නවෝත්පාදන මත පදනම් වූ කර්මාන්ත සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති නැවත අර්ථ දැක්වීමය. මෙයින් අදහස් කරන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තය වැනි කර්මාන්තයන්හි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා එම තාක්ෂණයන් භාවිත කිරීමය. අට වැනි කරුණ ලෙස, නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) හරහා ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත ගෝලීය ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීම පෙන්වා දෙයි. නවවැනි කරුණ වන්නේ වගවීම සහතික කිරීම සඳහා මහජනතාව ඇතුළු රටේ සියලුම පාර්ශ්වකරුවන් සමග ඵලදායී සන්නිවේදනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාව ඇති කිරීමය. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශය විසින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් නිරීක්ෂණය කර සහ පවත්වාගෙන යන රාමුවක් අනුගමනය කිරීමය. දසවැනි කරුණ වන්නේ Port City මත පදනම් වූ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා මුලපිරීමක් දියත් කිරීමය. මෙය අපනයනකරුවන්ට සහාය වන්නකි.
මෙම කරුණු දහය, අදාළ බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළහොත්, ශ්‍රී ලංකා ආර්ථිකයට දැනට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුධයෙන් මිදීමටත්, දේශයක් ලෙස නැවතත් ලොව අන් රටවල් ඉදිරියේ සිය ශක්තිය පෙන්වීමටත් හැකිවන බව මෙම වෘත්තීය සංවිධාන විශ්වාසය පළ කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් පසුගිය 04දා කොළඹදී සංවිධානය වූ මාධ්‍ය හමුවට, තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) නායකත්වය දෙමින්, දෙහිවල එක්සත් වෙළෙඳ හා කර්මාන්ත සංගමය, මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, නුගේගොඩ ව්‍යවසායකයන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ සන්ධානය, මිනුවන්ගොඩ වෙළෙඳ සංගමය, ලංකා බිස්නස් රින්, නාවලපිටිය වෙළෙඳ සංගමය, ලාංකේය ව්‍යවසායකයෝ, සීමාසහිත මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ, කිරිබත්ගොඩ සිංහල වෙළෙඳ සංගමය, ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා උත්සව සංවිධායකයන්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය, කුරුණෑගල සිංහල වෙළෙඳ පෙරමුණ, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, භාණ්ඩ නිෂ්කාශන සහ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහන සංගමය ඇතුළු සංවිධාන සමූහයක් සහභාගී වූහ.