දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා ආර්ථිකයට Kick Start එකක් ලබාදිය යුතු බවත්, එය කඩිනමින් හා ක්‍රියාශීලීව කරගෙන යෑම සඳහා දොළොස් වැදෑරුම් සැලසුමක් මෙසේ රට හමුවෙහි ඉදිරිපත් කරන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් 'ආර්ථිකය නැවත නංවාලීම සඳහා දොළොස් වැදෑරුම් සැලසුම' මෙසේ ඉදිරිපත් කරනු ලැබුවේ පෙරේදා (06දා) මාතරදී පැවති වියත්මග සම්මේලනයට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් ඇතුළු එක්දහස් පන්සියයක පමණ පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"මේ වනවිට අප රටේ ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වෙලා. ඕනෑම කෙනෙකු සමග කතා කළ විට ඔවුන් කියන්නේ, 'තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න විදිහක් නෑ' කියලයි. 'බැංකුවලට ණය එකතු කරගන්න බෑ' කියල බැංකු කියනවා. දැවැන්ත ව්‍යාපාරිකයන් කියන්නේ, 'ඔවුන්ගේ අලෙවිය පසු බැහැලා' කියලයි. හැම පැත්තකින්ම ප්‍රශ්න. ඉතිං මේ විදියට හැම පැත්තකින්ම ප්‍රශ්න තියෙද්දි, එක පාරටම ආර්ථිකයක් යළි ගොඩනැංවීම ඉතා භාරධූර කාර්යයක් බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. බොහෝවිට සාම්ප්‍රදායික කටයුතු වෙත පමණක් යොමුවීමෙන් මෙය සිදුවෙන්නේ නැහැ.
ඒ නිසා, අමුතුවෙන්ම හිතලා, අලුත් දේවල් හරහා ආර්ථිකයට පණගැන්වීමක් ලබාදීමට අවශ්‍යයි. ආර්ථිකයට 'Kick Start' එකක් ලබාදිය යුතුයි. එහෙම කළොත් තමයි, රට තුළ නැවත වරක් විශ්වාසය ගොඩනැගෙන්නේ. ආර්ථිකමය කටයුතු කරන විවිධ අංශ, විශේෂයෙන්ම පෞද්ගලික අංශය, බාහිර අංශය, රජය වුණත් මේ හැමෝම එක පාරට නැගිටින්නේ මෙවැනි වැඩපිළිවෙළකින් විතරයි.
මේ සඳහා අපි ඉතා හොඳ සැලැස්මක් සකස් කර තිබෙනවා. එය ඉතා හොඳින් ක්‍රියාශීලීව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එවැනි සැලැස්මක් තමයි, මම ඔබට ඉදිරිපත් කරන්නෙ. ඒ සැලැස්මේ යම් යම් ඉලක්ක තිබෙනවා. මේ ඉලක්ක සියල්ලම හැකි තරම් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. එකක් සිදුකර, අනෙක් කාරණය ඊට පසුව කිරීමට පුළුවන්කමක් නැහැ. එවිට ප්‍රමාද වැඩියි. මේ හැම එකක්ම එක්වරම කිරීමට, ක්‍රියාශීලීව කරගෙන යෑමට අවශ්‍ය නිසා තමයි, මෙන්න මේ ආකාරයෙන් පැති දොළහකින් එය කිරීමට මා යෝජනා කරන්නේ." ඒවා නම්,
- බදු බර 20%කින් කප්පාදු කිරීම. ඒ සමගම සමහර විනාශකාරී බදු අහෝසි කිරීම.
- ඉතා ඉක්මණින්, සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට ගෙවීමට සිදුවන පොලි අනුපාතය 20%කින් පමණ අඩු කිරීම.
- රුපියලේ අගය වහාම ස්ථාවර කොට 2021 වනවිට එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 150ක මට්ටමකටවත් අඩුකර ගැනීම.
- ඊළඟ මාස 18 තුළදී පොලී අනුපාතය පමණක් ගෙවමින් ප්‍රාග්ධන ණය මුදල ඒ ආකාරයටම රඳවා පවත්වා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන්ට අවසර ලබාදීම. ඒ තුළින් බැංකුවලට හෝ මූල්‍ය ආයතනවලට කිසිදු හානියක් සිදු නොවන අතර, ඒ හරහා ගනුදෙනුකරුවන්ට විශාල සහනයක් ලැබෙන නිසා ඒ අයගේ ව්‍යාපාර සහ ව්‍යාපෘති සාර්ථකව කරගෙන යැමට අවකාශය ලැබෙනු ඇත. ඒ සමගම මූල්‍ය අපහසුතාවයට පත්වී ඇති ගනුදෙනුකරුවන්ට යම් සහනයක් ලබාදීම පිණිස CRIB ආයතනයේ රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් කිරීම.
- පසුගිය වසර හතරක කාලය තුළදී ආර්ථිකයේ පරිහානිය නිසා දරුණු මූල්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර සහ ව්‍යාපෘති නැවත නංවාලීම පිණිස මූල්‍යමය සහයෝගයක් ලබාදීමට රුපියල් බිලියන 50ක් රජය විසින් බැංකු සහ මූල්‍ය ආයතන හරහා ප්‍රේෂණය වන පරිදි ලබාදීම. ආසියානු ආර්ථික අර්බුදය කාලයේදී මැලේසියාව විසින් 'ධනහර්තා' යන නමින් හැඳින්වූ ආයතනික ස්වභාවයෙන් යුතු නීති හා සමාන නීති හරහා එම මුදල් ලබාදීම.
- පසුගිය වසර හතරක කාලය තුළදී රජයේ සහ මහ බැංකුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ පාලනය නිසා අවදානමට පත් වී ඇති බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවරභාවයට පත් කිරීම සඳහා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අරමුදලෙන් (Deposit Insurance and Liquidity Support Fund) රුපියල් බිලියන 25ක් වෙන්කොට ඒ මුදල හරහා එම ආයතන ශක්තිමත් කිරීම. ඒ හරහා අද පවතින අවදානම් තත්ත්වය සහ ආයෝජක බිය ජයගැනීමට හැකිවනු ඇත. ඒ සමගම 2013/2014 කාලය තුළදී කියාත්මක වෙමින් පැවති බැංකු සහ මූල්‍ය ආයතන Consolidation සැලසුම නැවත ක්‍රියාත්මක කිරීම.
- මුළු ආර්ථිකයම නැවත පණගැන්වීම සඳහා දැවැන්ත යටිතල පහසුකම් ඉදිකිරීම් මාලාවක් ආරම්භ කිරීම. ඒ සමගම රට වටා පිහිටුවනු ලබන කිලෝ මීටර් 600කින් සමන්විත ඉලිප්සාකාර අධිවේගී මාර්ග පද්ධතිය ආරම්භ කිරීම.
- සමෘද්ධි බැංකුවේ ගිණුම් ඇති සියලුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති මුදලෙන් 25%ක ප්‍රමාණයක් ඔවුනට වහාම මුදවා හැරීම. එම මුදල පාවිච්චි කරමින් ඒ අය තමන්ගේ ගම්දනව්වල විවිධ ආර්ථික කටයුතුවල යෙදෙන නිසා ඒ හරහා ගැමි ආර්ථිකයේද යම් පිබිදීමක් සිදුවනු ඇත.
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමුකෙරෙන සියලුම ආයෝජන අනුමැතිය සඳහා ලැබෙන ඉල්ලුම් පත්‍ර සති හතරක් තුළදී අනිවාර්යෙන්ම අනුමත කෙරෙන ආකාරයේ වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීම. ඒ අතරම, නාගරික සංවර්ධන අධිකාරිය සහ සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් අනුමැතිය ලබා දෙන්නට නියමිත සියලුම ඉදිකිරීම් සැලසුම්, සති දෙකක් තුළදී අනුමැතිය ලබාදෙන ආකාරයට පසුබිම සැකසීම. ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්රයට ඉක්මනින්ම ගැම්මක් ලැබෙනු ඇත.
- 2025 වසර වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක සංඛ්‍යාවක් ගලාඑන ආකාරයට සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඒ අතරම, airbnb වැනි කුඩා සහ මධ්‍ය පරිමාණයේ සංචාරක ක්ෂේත්රයේ යෙදී සිටින සියලුම ආයතනවලට යම් ප්‍රමිතියක් හරහා රාජ්‍ය අනුග්‍රහය සහ සහයෝගය ලබාදීම.
- වර්තමාන රජය විසින් විදේශිකයන්ට පවරා ඇති හම්බන්තොට වරාය සහ අනෙකුත් සම්පත් ශ්‍රී ලංකා රජය යටතට නැවත පවරා ගැනීම සඳහා සාකච්ඡා ඇරඹීම. ඒ සමග විවිධ රාජ්‍ය සම්පත් විකිණීම සඳහා අරඹා ඇති සාකච්ඡා වහාම නතර කිරීම සහ රටට අහිතකර යැයි සැලකෙන ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සහ යෝජිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැනි ගිවිසුම් වහාම නැවත සලකා බැලීමට කටයුතු කිරීම.
- ශ්‍රී ලංකාව නැවත සන්නාම (re-brand) කිරීම. එසේ කිරීමේදී සැලකිය යුතු ඉලක්ක නම් යහපත් ආයෝජනයක්, නැගී එන ආර්ථිකයක්, සුරක්ෂිත සංචාරක ගමනාන්තයක්, නවීන යටිතල පහසුකම් සහිත රටක් ආදියයි.