ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික පසුබෑම්වලින් ඉතාමත් ඉක්මනින් මිදී වැඩි සංවර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා අදහස් කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි නිල සංචාරයක යෙදුණු අවස්ථාවේදී මෙම අදහස් ඉස්මතු වී තිබේ. වරාය විසින් මුහුණදෙන නොයෙකුත් ගැටලු සඳහා විසඳුම් සෙවීමට මෙන්ම, වරාය සේවාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ වී ඇත. සභාපතිවරයා සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසට, වරාය පිළිබඳ දළ විශ්ලේෂණයක්, වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලදී.
HIPG විසින් ලබා ඇති සමස්ත ව්‍යාපාරික ප්‍රගතිය සහ රට වෙත රැගෙන ආ ප්‍රධාන සෘජු විදෙස් ආයෝජන සාකච්ජාවට මෙහිදී භාජනය වී ඇත. වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කාර්මික උද්‍යානය සහ සමෝධාන කාර්ය උපාය වැනි ව්‍යාපාර දියුණු කිරීමේදී HIPG මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් මෙන්ම, වරාය මගින් මෙහෙයවනු ලබන පි.සී.ආර් පරීක්ෂණ මධ්‍යස්ථානය, හෝප් ගම්මානය, අලි-මිනිස් සාමයට මුලපිරීම සහ නිපුණතා-පුහුණුවීම් තුළින් දකුණු පළාතේ නිර්මාණය කර ඇති රැකියා අවස්ථා වැනි සමාජ වගකීම් ව්‍යාපෘති පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කිරීම්ද සිදුව තිබේ.
HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, වරාය සේවාවන්හි සහ කර්මාන්ත උද්‍යානයේ උපායමාර්ගික හවුල්කරුවන් වන ජාත්‍යන්තර ආයෝජකයන් සහ ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන්, ආයෝජන මණ්ඩලය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි.
BOI සභාපති රාජා එදිරිසූරිය මහතා සඳහන් කළේ, වරාය සේවා, කර්මාන්තපුරය, බලශක්ති සේවා පර්යන්තය තුළ සිදුකරන සියලුම කාර්යයන් සහ ඔවුන් මුහුණදෙන වත්මන් දුෂ්කරතා සහ ගැටලු පිළිබඳ ගැඹුරින් ඇගයීමට ලක්කර, මූලික හේතු හඳුනා ගනිමින්, රාජ්‍ය ආයතන වැනි අනෙකුත් පාර්ශ්ව සමග මැදිහත්ව වඩාත් හොඳ විසඳුම් ලබාදීමට අදහස් කරන බවයි.
“ආයෝජක ප්‍රජාවට අවස්ථා උදාකර දෙන තෝතැන්නක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා කළ හැකි සියල්ල ඉටු කිරීමට අප බැඳී සිටිනවා. දැනටමත් අපගේ වරාය ආයෝජන සේවා කණ්ඩායම ශ්‍රී ලංකාව විදේශ රටවල ප්‍රවර්ධනය කිරීමේ ප්රයන්තයක යෙදී සිටිනවා. අපගේ 'HIP Speed’ සැලැස්ම ක්‍රියාවලීන් වේගවත් කරමින්, කර්මාන්තපුරය තුළ නව ව්‍යාපාර පිහිටුවීමේදී ඇති වන බාධක මඟහරවා ගැනීම සඳහාද උපකාරී වෙනවා. සාර්ථක බහුකාර්ය වරායක් ලෙස හම්බන්තොට වරාය ස්ථානගත කිරීම අපගේ අභිප්‍රාය වන අතර, ඒ සඳහා රාජ්‍ය අංශයේ සහාය අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුමයි.” යනුවෙන් HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කර තිබේ.