Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
යූටියුබ් වීඩියෝ නිර්මාණය කිරීමේ රැල්ලක් පසුගිය කාලය පුරා ඉස්මතු විය. යූටියුබ් තරුවක් වීමට මෙන්ම එකී වීඩියෝ නිර්මාණය කරමින් ලක්ෂපතියන් බවට පත්වීමට සිහින මැවූ තරුණයන් ඒ අතර අපට දැකගත හැකිවිය. නමුත්, අන්තර්ජාලය තුළ ඔබට මුදල් ඉපයීමට හැකි එකම මාධ්‍ය යූටියුබ් පමණක් නොවන බව මේ බොහෝ දෙනෙකු දැන නොසිටින්නට ඇත. හොඳ අන්තර්ගතයක් සහිත ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන යමින්, ඒ වෙත වැඩි පරිශීලකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට ඔබත් සමත්කමක් දක්වන්නේ නම්, ඒ වෙබ් අඩිවියට වෙළෙඳ දැන්වීම් හරහා ඉහළ ආදායමක් උපයා ගැනීමට දැන් අවස්ථාවක් උදාවී ඇත. ඩිජිටල් වෙළෙඳ දැන්වීම් කලාවේ නව මානයක් කරා ගමන් කරමින්, Programmatic තාක්ෂණය පදනම් වූ AdStudio යෙදවුම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් Digital X (පුද්.) සමාගම ඒ සඳහා ඔබට අවස්ථාව සලසා දීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳ ඔබ දැනුවත් කිරීමට ඩිජිටල් මීඩියා ක්ෂේත්රයේ බොහෝ කාලයක් රැඳී සිටි අයෙකු ලෙසත්, මේ ක්ෂේත්රයට අදාළව බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු ලෙසත් අත්දැකීම් ඇති එම සමාගමේ අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ් මහතා සම්බන්ධ කරගැනීමට 'අද ව්‍යාපාරික පිටුවේ' අපි මෙසේ කටයුතු කළෙමු.
'Programmatic සංකල්පය ශ්‍රී ලංකාවට
|
තමාගේම වෙබ් අඩවියක් හරහා යම් අයෙකුට ළඟාවිය හැකි මේ නවතම ආදායම් මාර්ගය කුමක්ද?
යූටියුබ්වලින් මුදල් ඉපයීමේ රැල්ලක් රටේ පැවතියා. තවමත් බොහෝ තරුණයන් තමන්ගේ යූටියුබ් චැනලයේ Views (නැරඹුම් වාර) වැඩිකර ගනිමින් මුදල් සෙවීමට උනන්දු වන ආකාරය දැකගැනීමට පුළුවන්. නමුත් අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමේ මාර්ග රැසක් පවතින බව අප වටහා ගත යුතුයි. ඒ අනුව මෙහි තවත් එක් ක්‍රමයක් වන්නේ තමාගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යමින්, ඒ වෙබ් අඩවියේ Web Traffic දියුණු කර, (වැඩි පිරිසක් වෙබ් අඩවිය වෙත ආකර්ෂණය කරගෙන) ඒ හරහා මුදල් ඉපයීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් කෙරෙන වෙබ් අඩවි ඉලක්ක කරගෙන මේ නවතම ආදායම් මාර්ගය සකසා දීමට Digital X සමාගම ලෙස අප මැදිහත්ව සිටිනවා.
අද වනවිට සිංහල භාෂාවෙන් වෙබ් අඩවි කිරීමට බොහෝ පිරිසක් උනන්දු වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තිබුණත්, බොහෝ දෙනා සමාජජාලා තුළ පවා සිංහල භාෂාවෙන් කතාබහ කිරීම සුලභයි. ඒ සමගම සිංහලෙන් වෙබ් අඩවි පවත්වාගෙන යාමේ ලොකු ප්‍රවණතාවක් දකින්න පුළුවන්. එතනදි AdStudio නිමවුම විදියට අපි අවස්ථාවන් විවර කර දෙමින්, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් කරන වෙබ් අඩවිවල අන්තර්ගතය හොඳ මට්ටමක පවතිනවා නම්, අපේ AdStudio වේදිකාවට (Platform එකට) එම වෙබ් අඩවිය එකතු කර ගැනීමට කටයුතු සලසනවා. එහිදී අදාළ වෙබ් අඩවිය වෙත පිවිසෙන පරිශීලක පිරිස වැඩි නම්, එම වෙබ් ක්‍රියාකරුට එහි පළ කෙරෙන දැන්වීම් හරහා ආදායමක් උපයා දීමට අප කටයුතු කරනවා. වඩාත් සරලව කිව්වොත්, තමන්ගේම වෙබ් අඩවියක් කරන කෙනෙකුට පහසුවෙන් මුදලක් ඉපයීමට අප මාර්ගයක් විවෘත කර තිබෙනවා. මේ අවස්ථාව යූටියුබ්, ෆේස්බුක් වගේම, නව ආරකට වඩාත් පහසුවෙන් ඔබේම වෙබ් අඩවියක් තුළින් මුදල් ඉපයීමට ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අවස්ථාවක්.
ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කළ පමණින් එය AdStudio වේදිකාවට සුදුසු වෙබ් අඩවියක් වෙනවාද?
කොහෙත්ම නැහැ. වෙබ් අඩවියක් නිර්මාණය කළ පමණින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැනට ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වගේම, පෞද්ගලික මට්මින් තමන්ගේ විනෝදාංශයක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි අපේ AdStudio වේදිකාවට සම්බන්ධව තිබෙනවා. යම් වෙබ් අඩවියක් සම්බන්ධ කරගැනීමට පෙර අප විසින් එය අධීක්ෂණයකට ලක් කරනවා. වෙබ් අඩවියේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වයන්ට පටහැනි නොවන හා ඕනෑම මාතෘකාවක් යටතේ හොඳ අන්තර්ගතයක් සහිත වෙබ් අඩවියක් ඊට සුදුසුකම් ලැබිය හැකියි. උදාහණයක් ලෙස කාලීන පුවත්, විනෝදාස්වාද, සංචාරක, තාක්ෂණික, රථ වාහන සහ ක්‍රීඩා ආදී වශයෙන් ඕනෑම මාතෘකාවක් යටතේ හොඳ වෙබ් අඩවියක් නිර්මාණය කර අප හා සම්බන්ධ වීමට ඕනෑම අයෙකුට අවස්ථාව තිබෙනවා.
ඒ වගේම වෙබ් අඩවියකින් මුදල් සෙවීමට අවස්ථාවක් හිමිවන්නේ ලොකු සන්නම් නාමයක් සහිත වෙබ් අඩවියකට පමණක් යැයි මතයක් පැවතුණා. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඔබට හොඳ අන්තර්ගතයක් සමග, ඔබේ වෙබ් අඩවිය තුළ හොඳ Web Traffic එකක් ඇතිකර ගැනීමට පුළුවන් නම්, ලොකු නමක් නැතත් ඔබේ වෙබ් අඩවිය හරහා මුදල් උපයා ගැනීමට ඔබට දොරගුළු විවර වෙනවා. මෙහිදී ඔබ ඉක්මන් මුදල් පසුපස ලුහුනොබැඳ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. යූටියුබ් චැනල් එකක් වුණත් අන්තර්ජාලයට එක්කළ සැණින් විශාල ආදායමක් ඔබට ලබන්නට බැහැ. ඒ ආකාරයෙන්ම වෙබ් අඩවියක වුණත්, ඔබ හොඳ අන්තර්ගතයක් සමග පරිශීලක පිවිසීම (Web Traffic) වැඩිකර ගන්නා විට ඔබට හොඳ ආදායමක් ලැබීමට අවස්ථාව උදාවෙනවා.
වෙබ් අඩවියක් AdStudio වේදිකාවට සම්බන්ධ කරගත් විට, දැන්වීම් හරහා ඉපැයිය හැකි ආදායම් මොනවගේද?
අප සමාගම සමග එකතු වී ඇති බොහෝ වෙබ් අඩවි මේ වනවිට සැලකිය යුතු ආදායම් ලබනවා. යූටියුබ් චැනල් එකක Views ප්‍රමාණය මත ඔබේ මුදල් ඉපයීම තීරණය වනවා සේම, AdStudio වේදිකාවට සම්බන්ධ වූ ඔබේ වෙබ් අඩවියට අවම වශයෙන් මසකට රු.10,000ක සිට රු.ලක්ෂ 5ක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයක් වුවද මුදල් ඉපැයීමට අවස්ථාව උදාකර ගැනීමට පුළුවන්. නමුත් ඔබට මෙවැනි ඉහළ ආදායමක් කරා යාමට හැකිවන්නේ ඔබේ නිර්මාණශීලීත්වය, ඔබේ හැකියාව, ඔබේ දැනුම සහ ඔබේ උන්නදුව ආදී මේ සියල්ල කැටි කරමින් ඔබ නිර්මාණය කරන වෙබ් අඩවිය තුළ හොඳ අන්තර්ගතයක් සමග, සැලකිය යුතු Web Traffic එකක් නිර්මාණය කර ගැනීමෙන් පමණයි.
මෙතැනදී ඔබේ වෙබ් අඩවියේ පරිශීලක පිවිසීම හෙවත් Web Traffic එක ගත්තොත්, එහි පළ කෙරෙන්නේ සංචාරක ක්ෂේත්රය ආදී එක් ක්ෂේත්රයක ලිපි පමණක් වුවද ගැටලුවක් නැහැ. මන්දයත් Web Traffic එක වැඩිකළ යුතු බව මා මෙහිදී සඳහන් කළත්, ඒ වෙබ් අඩවිය සියලු දෙනාම පාහේ බලන්න ඕනෙ කියල දෙයක් එතැන නැහැ. අදාළ ක්ෂේත්රයට සම්බන්ධ පිරිස වැඩි වශයෙන් ඒ වෙත ආකර්ෂණය කරගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒ අනුව ඔබේ වෙබ් අඩවියට යම් අගය කිරීමක් අප ආයතනය විසින් ලබාදෙනවා. යූටියුබ්වල වුණත් මේ අගය කිරීම තිබෙනවා. පුවත් වෙබ් අඩවියකට මුදල් ගෙවීම් කරන ආකාරයට නොවෙයි, තාක්ෂණික වෙබ් අඩවියකට ගෙවීම් සිදුවන්නේ. අන්තර්ගතයට පවතින ඉල්ලුම අනුව එහි යම් යම් අඩුවැඩිවීම් දැකිය හැකියි.
සාමානයෙන් Google Ads හරහා වෙබ් අඩවිවල මුදල් ඉපයීමට පුළුවන්. නමුත් සිංහල වෙබ් අඩවිවලට Google Ads යොදා ගැනීමට පුළුවන්කමක් නැහැ. අපේ AdStudio වේදිකාවට සම්බන්ධව ඇති වෙබ් අඩවිවලින් 75෴ක් පමණම සිංහල වෙබ් අඩවි නිසාත්, ඒ වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයන් බහුතරය අපේම අය නිසාත්, ශ්‍රී ලාංකේය සන්නාමයන්ගේ වෙළෙඳ දැන්වීම් තමයි, අප මේ වෙබ් අඩවි සඳහා බොහෝවිට ලබාගන්නේ. පසුගිය මාස කිහිපය තුළ වෙළෙඳ දැන්වීම් වශයෙන් සන්නාම 100කට වඩා අපත් සමග වැඩ කටයුතු කර තිබෙනවා.
වෙළෙඳ දැන්වීම්කරුට ඔබ ආයතනය සමග සම්බන්ධ වීමෙන් ලැබෙන විශේෂ වාසිය කුමක්ද?
අප සමග වැඩ කිරීමේදී මේ වෙළෙඳ දැන්වීම් පළ කරන්නන්ට (යම් සන්නාමයකට) ඇති වාසිය ගත්තොත් ඔවුන්ට වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් සමග වැඩ කිරීමට සිදුවන්නේ නැහැ. එක් ආයතනයක් සමග පමණක් සම්බන්ධ වී වැඩි වෙබ් අඩවි ප්‍රමාණයක් වෙත තමන්ගේ දැන්වීම් ළඟාකරවීමට පුළුවන්. මෙතනදි ඔවුන්ට මුදල් වැයවීම සිදුවන්නේත් ඔවුන්ගේ දැන්වීම නරඹන ප්‍රමාණය අනුවයි. උදාහරණයක් විදියට ඔවුන් දැන්වීමක් සඳහා රු.100ක මුදලක් යෙදුවොත්, ඒ දැන්වීම 1,000 වතාවක් වෙබ් අඩවි තුළ ප්‍රචාරය වීමට සලස්වනවා යැයි සිතන්න. එහිදී අපේ AdStudio වේදිකාව සමග සම්බන්ධව ඇති වෙබ් අඩවි 200ක පමණ ප්‍රමාණය තුළ මේ දැන්වීම් 1,000 බෙදී යනවා. ඒ අනුව මේ දැන්වීම් යම් වෙබ් අඩවියක 300 වතාවක් නැරඹුවොත්, ඒ නැරඹුම් ප්‍රමාණය අනුව අදාළ වෙබ් අඩවියට ගෙවීම් සිදුවෙනවා. මෙතනදි දැන්වීම්කරුට තමන්ගේ ඉලක්ක පාරිභෝගික පිරිස වෙත මේ දැන්වීම් යොමුකරවීමට අවස්ථාව උදාවන අතරම, ගෙවීම් කිරීමට සිදුවන්නේද ඒ දැන්වීමේ නැරඹුම් ප්‍රමාණය අනුවයි. මෙතැන ක්‍රියාත්මක වන තාක්ෂණය ලන්සු තැබීමේ ක්‍රමවේදයක්. AdStudio යෙදවුම තුළ යම් වෙබ් අඩවියකට ලංසුවක් යෙදූවිට, දැන්වීම්කරුත් ඒ හා සමාන ලංසුවක් දැමීමේදී ඒ දෙක ගැලපීමෙන් දැන්වීම ප්‍රචාරය වීමක් තමයි මෙහිදී සිදුවන්නේ. මෙය ස්වයංක්‍රීයව සිදුවන්නක්. අප සිදුකරන්නේ දැන්වීම්කරු සහ වෙබ් අඩවි එකට සම්බන්ධ කර, Programmatic සංකල්පය මුසුවූ අපේ AdStudio නිමවුම හරහා මෙය ක්‍රියාත්මක කිරීමයි.
ලෝකයේ දියුණු රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් දැන්වීම්කරණ ක්ෂේත්රයේ පසුබිම කෙබඳුද?
සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ ඩිජිටල් දැන්වීම්කරණයේ 80%ක් විතරම සිදුවෙන්නේ Programmatic සංකල්පය හරහායි. ඉන්දියාවේ ඩිජිටල් දැන්වීම්කරණයේ 30%ක් පමණ මේ තාක්ෂණය හරහා සිදුවෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකවේ සමස්ත දැන්වීම්කරණයෙන් 10% - 12%ක් පමණ ඩිජිටල් දැන්වීම්කරණය තුළ දැනට ක්‍රියාත්මක වෙනවා. ඉදිරි වසර පහ තුළ 20%ක් දක්වා එහි වර්ධනයක් අප පුරෝකථනය කරනවා. ප්‍රධාන දහරාවේ මාධ්‍යවල පළ කෙරෙන දැන්වීම් වගේම අද වනවිට ඩිජිටල් මාධ්‍ය තුළ දැන්වීම්කරණයට දක්වන උනන්දුවේ වර්ධනයක් අපට පැහැදිලිව දැකගැනිමට පුළුවන්. ඒ සඳහා වූ මුදල් වෙන්කිරීම් සමාගම් විසින් පුළුල් කර තිබෙනවා. එතනදි AdStudio වගේ සංකල්පයක් දැන්වීම්කරුට වගේම වෙබ් අඩවිවලටත් වර්තමානයේදී අත්‍යවශ්‍ය ඩිජිටල් දැන්වීම්කරණ උපායමාර්ගයක් බවට පත්ව තිබෙනවා.
Digital X (පුද්.) සමාගම ලෙස ඩිජිටල් දැන්වීම්කරණ ක්ෂේත්රය තුළ ආයතනයේ අනාගත ඉලක්ක කෙබඳුද?
සාමාන්‍යයෙන් ඩිජිටල් මීඩියා සහ ඩිජිටල් තාක්ෂණය ගැන අද කතා කළත්, අද අප කතා කරන දෙය හෙට වනවිට වෙනස් වෙනවා. ඒ තරම් වේගවත්ව වෙනස් වෙමින් දියුණු වන තාක්ෂණයක්. එතනදි අපත් ඒ හා සමාන්තරව නැතත්, ඒ සමීපයෙන් හෝ ගමන් කළ යුතුයි. දැනට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය මිලියන 7ක් පමණ වෙනවා. එනම් අපේ ජනගහනයෙන් 35% - 40%ක් විතර අන්තර්ජාලය පාව්චිචි කරනවා. ශ්‍රී ලංකාවේ මොබයිල් ඉන්ටර්නෙට් වර්ධනයක් දකින්න පුළුවන්. මිලියන 6කට වැඩි පිරිසක් ෆේස්බුක් පාවිච්චි කරනවා. මේ වේගවත් ගමන සමග අපේ සමාගමේ මෘදුකාංග නිර්මාපකයන් 50ක් සේවයේ යෙදෙනවා. නිමවුමක් එළිදැක්වීමට වඩා ඒ සඳහා පර්යේෂණ වෙනුවෙන් අපි වැඩි කාලයක් යොමු කරනවා. අප අද කරන්නේ මීට වසර දෙකකට පෙර අප විසින් පර්යේෂණ කළ දේවල්. අනාගතයේ තවත් වසර දෙකකින් වැඩිදියුණු වන සංස්කරණයන් අප මේ වනවිට සංවර්ධනය කරමින් සිටිනවා.
අවසන් වශයෙන් තමාගේම වෙබ් අඩවියක් එළිදැක්වීමට සූදානම් තාරුණ්‍යයට දිය හැකි පණිවුඩය කුමක්ද?
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නෙ රැල්ලට යමක් කිරීමයි. පහුගිය අවුරුද්දෙ යූටියුබ් රැල්ලක් තිබුණා. %මම යූ ටියුබ් එකෙන් සල්ලි හොයල මේ වාහනේ ගත්තා, මේ තරම් දියුණු වුණා^ කියල ෆේස්බුක් දාපු අය හිටියා. ඒ දෙය ඔහුගේ දක්ෂතාව මත වූ දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් යූටියුබ්වල මුදල් හොයන අය ගොඩක් අපේ රටේ ඉන්නවා. නමුත් මේ ඕනෑම දෙයක මුදල් මත්තේම ගියොත් මේක වරදින්නත් තියෙන ඉඩ වැඩියි. මේ ඔස්සේ දියුණු වූ බොහෝ දෙනෙක් ඒ ගමන ආරම්භ කර ඇත්තේ විනෝදාංශයක් වශයෙනුයි. එතනින් එහාට ඔවුන් 8 - 5 ජොබ් නොකර යූටියුබ් කරගෙන ඉන්නවා. මගේ අදහස නම් මේ කිසිම දෙයක් මුදල්ම ඉලක්ක කරල යන්න හොඳත් නැහැ. නමුත් සල්ලි නැතුවම කරනව කියල ඔළුව හදාගෙන කරන්න ඕනෙත් නැහැ. මේ අතර මැද මාවතක යෑමට තමන්ට පදනමක් තිබිය යුතුයි.
සමහර අය තාක්ෂණය හෝ වෙනයම් විශේෂ ක්ෂේත්රයක් ඔස්සේ වෙබ් අඩවියක් පටන් ගන්නවා. නමුත් අවසානයට ඉවර වෙන්නෙ ගොසිප් එකකින්. බොහෝ වෙලාවට අනාගතයේදී වැඩි තැනක් ලැබෙන්නෙ Micro Site වලට බව අප මතක තබාගත යුතුයි. මන්දයත් අනාගතයේදී ඔබේ වෙබ් අඩවිය අයිති වෙන්නේ මොන ක්ෂේත්රය යටතටද කියන දේ ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දැන්වීම්කරුවනුත් මේ ඉලක්කගත වෙබ් අඩවිවලට කැමතියි. ඔබ ක්‍රීඩාවට සම්බන්ධ වෙබ් අඩවියක් කරනවා කියල හිතන්න. එවිට මේ වටා රොක්වෙන්නෙ ක්‍රීඩාවට සම්බන්ධ, ක්‍රීඩාවට කැමති පිරිස විතරයි. එහිදී ඔබේ වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ලක්ෂ දහයක් බලන්න ඕනෙ නැහැ. ක්‍රීඩාවට සම්බන්ධ ලක්ෂයක් බැලුවොත්, ඒ අදාළ පරිශීලක පිරිස ඔබට ප්‍රමාණවත්. ඒ වගේම වෙබ් අඩවියක් වුණත්, එය යූටියුබ් සමග සම්බන්ධ කරමින් වීඩියෝ හා ඡායාරූප බහුලව භාවිත කරමින් ආකර්ෂණීයව පවත්වාගෙන යන්න පුළුවන්.
මේ විදියට තමන්ගේම වෙබ් අඩවියක් කරගෙන, කිසිවෙකුත් නොදැන විශාල ආදයමක් ලබමින් කටයුතු කරන බොහෝ පිරිස් ශ්‍රී ලංකාව තුළ අදටත් සිටිනවා. ඒ වගේම e-commerce වෙබ් අඩවිවලටත් අද වනවිට හොඳ ඉල්ලුමක් පවතින බව පැවසීමට පුළුවන්. භාණ්ඩ අලෙවි කරන මෙවැනි වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් අද අපට දකින්නට තියෙනවා. මේ කවරක් කළත් රැල්ලට නොගොස්, තමන්ගේ විෂය, කැමැත්ත, දැනුම මේ හැමදේම බලමින් වෙබ් අඩවියක් පටන් ගැනීම තමයි, හොඳ. මා කලින් සඳහන් කළ ආකාරයට අද වනවිට %කොත්තු^ සංකල්පය (හැමදේම තියෙන කලවම් සංකල්පය) දැන් ක්‍රමයෙන් ඉවත් වෙමින් යනවා. එක් ක්ෂේත්රයක් ඉලක්ක කළ Micro Site වලට තියෙන තැන ඉහළ යමින් පවතින බව හොඳින් සිහියේ තබාගත යුතුයි.
ඒ වගේම අද වෙබ් අඩවියක යොදාගන්නා භාෂාවත් සරලයි. මිනිස්සුන්ට සරලව කතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඔබට හොඳ මාධ්‍ය දැනුමක් හෝ සිංහල භාෂාවේ මහා ලොකු දැනුමක් නැතිවෙන්න පුළුවන්. නමුත් ඔබට සිංහල ලියන්න බැහැ කියන දේ ඉන් අදහස් වෙන්නෙ නැහැ. එනම් මේ සඳහා සිංහල සාහිත්‍ය අදාල නොවෙන්න පුළුවන්. ඔබට තියෙන දැනුම, ඔබේම වචනයෙන්, කාටත් පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයට ඉදිරිපත් කළ හැකි නම් ඔබටත් වෙබ් අඩවියක් කරන්න පුළුවන්. ඒ නිසා තමයි, අපේ AdStudio යෙදවුම තුළ සිංහල භාෂාවෙන් වෙබ් අඩවියක් කරන්න අපි අවස්ථාව විවර කරලා තියෙන්නෙ. මේ නිසා එක තැනකදි ඔබේ ආසාව මුදල් බවට පත්කර ගැනීමට දැන් අවස්ථාව ලැබෙනවා. නමුත් මේ වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳන් ලක්ෂ 5ක් හොයනවා කියන කල්පනාවෙන් මේ දෙය නොකරන්නත් ඔබ වගබලාගත යුතුයි.
අද වනවිට හොඳ වෙබ් අඩවියක් නිර්මාණය කරමින්, ඒ වෙබ් අඩවියේ සන්නාමය ප්‍රසිද්ධියට පත්වූ විට විශාල මුදලකට එය අලෙවි කිරීමේ ක්‍රමවේදයක්ද දකින්න පුළුවන්. මෙරට වෙබ් අඩවි පැවති ආකාරයත්, අද වනවිට ඒවා වර්ධනය වී ඇති වෙනස් ස්වරූපයන් ගැනත් අප සලකා බැලුවොත්, තවත් වසර පහකින් මේවායෙහි වර්ධනයක් මිස කඩා වැටීමක් සිදු නොවන බව පැහැදිලියි. ඒ වගේම ඉදිරියේදී වෙබ් අඩවි වැඩිවීම තුළ තරගයත් නිරායාසයෙන් වැඩිවන බව සඳහන් කළ යුතුයි. ඒ නිසා වෙබ් අඩවිවල ඉදිරි අනාගතය හා තරගය වන්නේ හොඳම තාක්ෂණය ඇති, සුපිරිම වෙබ් අඩවියක් නිර්මාණය කිරීම නොවන බව ඔබ සිහියට ගත යුතුයි. ඒ වෙනුවට ඔබේ අඩවිය හොඳ අන්තර්ගතයක් සහිතව ඉදිරිපත් කරමින්, හොඳ Web Traffic එකක් ඇතිකර ගැනීම ප්‍රමාණවත් බව අවසන් වශයෙන් පැවසීමට පුළුවන්.
www.adstudio.cloud
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
Gigum Sunday, 14 June 2020 03:13 PM
බොහොම හොද වැඩසටහනක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd