අතුරුදන් වූ පුද්ගලයන් සිටින පවුලකට විශේෂ දීමනාවක් ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා ඔවුන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ ලියාපදිංචිය අවශ්‍ය වනු ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන්ගේ මවුපියන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් අපේක්ෂාසහගතව බලාසිටින බව, අයවැය යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සොයාබැලීමට පසුගියදා යාපනයේ සංචාරයක නිරත මුදල් අමාත්‍යවරයා වෙත මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය සිහිපත් කළ අවස්ථාවේ හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
මෙහිදී, අමාත්‍යවරයා සහ උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන් අතර කුඩා පරිමාණ ව්‍යවසාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මුහුණදෙන ගැටලු සහ කුඩා පරිමාණ ව්‍යසායකයන් මුහුණදෙන ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සැප්තැම්බර් මස යාපනයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බැවින් එය පළාතේ ව්‍යවසායකත්ව අපේක්ෂා ඇති තරුණ තරුණියන්ට මහඟු අවස්ථාවක් වනු ඇති බව පෙන්වා දී ඇති දිස්ත්‍රික් ලේකම්වරුන්, මේ යටතේ ණය ලබා ගැනීමට යාමේදී ඇතැම් බැංකුව මගින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිචාර ඉතාම කනගාටුදායක බව අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ගැටලු ඇති අයගේ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇති අමාත්‍යවරයා, බැංකු සමග සාකච්ඡා කොට සහනදායී පිළිතුරක් ලබාදෙන බවද පවසා තිබේ.
මෙම හමුවෙන් අනතුරුව පසුගියදා උතුරු පළාත් රාජ්‍ය බැංකු කළමනාකරුවන් හමුවූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, සාම්ප්‍රදායික බැංකුකරුවන් නොවී නම්‍යශීලීව සහෝදර ජනතාවට සේවය කරන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, බැංකු වෙත ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පවත්වා ඇති අතර, විශේෂයෙන්ම එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය ලබාදීම සඳහා රජයේ ඇපකරුවන් අවශ්‍ය බව පැවසීම, අදාළ ණය අයදුම්පත් වෙනුවට සාමාන්‍ය ණය ලබාදීමට අදාළ අයදුම්පත් නිකුත් කිරීම ඇතුළු ගැටලු සාකච්ඡාවට බඳුන් වී ඇත. එහිදී, අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ රු.මිලියන 1.5ක් දක්වා වූ ණය නිකුත් කිරීමේදී රජය ඊට ඇපවන බැවින් ඇපකරුවන්ට වඩා අදාළ ඉල්ලුම්කරුගේ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සැලිකිලිමත් වන ලෙස බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.
මේ අතර, යාපනය සංචාරය අතරතුර මුදල් අමාත්‍යවරයා සහ තල් සමූපකාර සමිති නියෝජිත හමුවක්ද සිදුව තිබේ. ප්‍රදේශයේ 15,000ක පමණ පිරිසක් තල් රා ඇතුළු නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින බවත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වූ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.