අතුරුගිරිය ටැටූ කලාගාරයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ගිනි අවි රැගෙන පලාගිය wp- nc-1976 බස් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති 0718596065 දුරකථන අංකයට හෝ අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ගේ 0718591657 දුරකථනයට එම ඇමතුම ලබා දෙන ලෙසත් රහස්‍ය භාවය සුරකින බවත් පොලීසිය දන්වා සිටී.
ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පාතාල නායක ලොකු පැටි නැමැත්තා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර තිබූ අතර, එයින් රුපියල් ලක්ෂ 41 ක මුදලක් වැය කර තිබුණේ ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පලායාම සඳහා බස් රථයක් මිලදී ගැනීමට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මතුගම කුඩලිගම හරහා කොළඹ දක්වා ධාවනයේ යෙදුණු දොර දෙකේ බස් රථය විකුණන බවට මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමකට අනුව ඝාතන සිද්ධිය සිදුකිරීමට දින කීපයකට ඉහතදී අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ගෙවා ඉතිරි මුදල එකවර ගෙවා මිලදීගෙන තිබුණේ මිරිස්ස පොල් අතු මෝදර අඹ ගහවත්ත ප්‍රදේශයේ 21 හැවිරිදි කාන්තාවකගේ නමට බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එම කාන්තාවද පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණ.
ඉකුත් මස 8 වෙනිදින ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයේ නැග , අනතුරුව වෑන් රථයට නැග මඳ දුරක් ගොස් කොරොතොට විහාරස්ථානයක් ආසන්නයේ නවතා තිබූ බස් රථයට නැග අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බස් නැවතුම්පොළ දක්වා ගිනි අවි රැගෙන ගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල නායක ලන්දුවා හන්දි පුෂ්ප කුමාර හෙවත් ලොකු පැටී නමැත්තා ගේ නව සැලසුමකට අනුව ආරක්ෂක අංශවල අවධානය යොමු නොවී හසු නොවී වෙඩික්කරුවන්ට පලායාම සඳහාත් ඒ සඳහා යොදාගත් ගිනි ප්‍රවාහනය සඳහාත් මෙම බස් රථය මිලදීගෙන තිබූ බව මේ දක්වා සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 9 දෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට බන්ධනාගාර ගත කර ඇත. නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වති.