රට ව්‍යාකූල කිරීමේ තවත් තුරුම්පුවක් ලෙස ආණ්ඩුව ගෙනැවිත් ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.07.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුර හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"රට ව්‍යාකූල කිරීමේ තවත් තුරුම්පුවක් ලෙස ආණ්ඩුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. ඒකට හේතුව ලෙස ආණ්ඩුව කියන්නේ “19 වන සංශෝධනය සිදු කිරීමේ දී 83(ආ) වගන්තිය සංශෝධනය කරන්න අමතක වුණා. අනේ අපිට ඒකට සමා වෙන්න. දැන් ඒ වරද නිවැරදි කරන්න 22 වන සංශෝධනය ගේනවා” කියලයි. නමුත් ඒක පට්ටපල් බොරුවක්. ජනාධිපතිගේ ධූර කාලය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කලාම ධූර කාලය 6 සිට 5 දක්වා අඩු වුණා. ඒ නිසා 83(ආ) වගන්තියේ සය වසරක් ඉක්මවා කියන වගන්තිය වෙනස් කළත් එකයි නැතත් එකයි. ඒකෙන් ජනාධිපතිගේ ධූර කාලයට කිසිම බලපෑමක් නෑ. ඒක අවස්ථා ගණනාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරලා තිබෙනවා.
19 වන සංශෝධනයේ දී 83(ආ) වගන්තිය වෙනස් නොකලේ අමතක වීමෙන් නොවේ. ඒක සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් ඕනෑ වන නිසා. 83 වගන්තියේ තිබෙන්නේ ජනමත විමසුමකට යොමු කළ යුතු කරුණු මොනවාද කියලායි. ජාතික ගීය ජාතික කොඩිය ඒකීය භාවය වැනි වගන්ති වෙනස් කරන්න ජනමත විමසුමක් ඕනෑ කියලායි 83 වගන්තියේ තිබෙන්නේ. ඒ වගේම 83 වෙනස් කරන්නත් ජනමත විමසුමක් අවශ්‍යයි කියලා ඒ වගන්තියේ තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනමත විමසුමක් නැතිව මේ සංශෝධනය සිදු කරන්නයි. මේ වගන්තිය තුල තමයි ජනතා පරමාධිපත්‍ය රැඳිලා තිබෙන්නේ.
ව්‍යවස්ථාවට බරපතල වෙනසක් කරනවා නම් ඒ සඳහා මන්ත්‍රිවරුන් විතරක් කැමැති වෙලා මදි. ජනතාවත් කැමති වෙන්න ඕනි කියන එකයි මේ වගන්තියේ අරුත. ඒ නිසා 83ට අත තියනවා කියන්නේ ජනතා පරමාධිපත්‍යයට අත තියනවා කියන එකයි. 83 වගන්තිය සංශෝධනය කරන්න ජනමත විමසුමකට යා යුතුයි කියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගන්න අපි 22 වන සංශෝධනය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම 22 වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි කරන්න අපි කටයුතු කරනවා. තුනෙන් දෙකේ බහුතරය කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මන්ත්‍රිවරු 150ක් ඡන්දය දෙන්න ඕනි කියන එකයි. මෑතක දී ආණ්ඩුවට පක්ෂව ඡන්ද 120 ඉක්මවා යන්න බැරි වුණා. ඒ නිසා ආණ්ඩුව විපක්ෂයෙන් තවත් ඡන්ද තිහක් එකතු කර ගන්න ඕනි. ඒ අවස්ථාව අහිමි කර මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම රටට ආදරේ හැමෝගේම වගකීමක්.
වසර හයක් ඉක්මවා කියන එක පහක් ඉක්මවා කියා වෙනස් කිරීම අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක්නෙ. ඒකට ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කියන්නේ ඇයි? මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ කතානායකතුමා මොන සංශෝධන සිදු කරලා අත්සන් කළත් ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑ. ලෝකයේ බොහෝ රටවල පනතක් නිසි පරිදි සම්මත වුණා ද කියලා අධිකරණයට විමසා බලන්න පුළුවන්.
නමුත් ලංකාවේ ඒ අවස්ථාව නෑ. මෑතක දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරන්න ඕනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියපු වගන්තියක් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරලා යථා පරිදි සම්මත වුණා කියලා කතානායක අත්සන් කළා. 13 වන සංශෝධනය සම්මත කරන විටත් හෙමීට වගන්තියක් කපලා අත්සන් කලා. ඒ නිසා 22 වන සංශෝධනය සම්මත වීමෙන් පසු කතානායක අත්සන් කිරීමට පෙර කුමන්ත්‍රණ සිදුවේවි කියන සාධාරණ බය අපට තිබෙනවා. එහෙම කුමන්ත්‍රණයක් නැති නම් මැතිවරණයක් අබියස කිසිම නීතිමය බලපෑමක් නැති මේ සංශෝධනය ගෙන එන්න කිසිම හේතුවක් නෑ. ඒ නිසා මේ සංශෝධනය මුව හමක් පොරවපු වෘකයෙක්. ඒක පරාජය කිරීම හැමෝගේම වගකීමක්.