2023 වසරේදී විදෙස්ගත ශ්රමිකයන් 476 දෙනෙකු විවිධ හේතු මත එම රටවලදී මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදෙස්ගතව රැකියාවල නියුක්තව සිටියදී මිය ගිය ශ්රමිකයන් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදු කරනු ලැබු තොරතුරු ඉල්ලීමකට කාර්යාංශයේ තොරතුරු නිලධාරී ජී.ජී. වීරසේකර මහතා විසින් ලබා දී ඇති තොරතුරුවල මේ බව සඳහන් වෙයි.
එම තොරතුරුවලට අනුව 2023 වසරේදී විදෙස්ගතව රැකියාවන්හි නියුක්තව සිටියදී මිය ගිය ශ්රමිකයන් 476 දෙනා අතරින් පුද්ගලයන් 366 දෙනෙකු ස්වාභාවික හේතු මත මිය ගොස් ඇති අතර 36 දෙනෙකු සිය දිවි නසා ගෙන ඇත. තවත් 34 දෙනෙකු මාර්ග අනතුරු නිසා මිය ගොස් ඇති අතර වෙනත් අනතුරු නිසා ශ්රමිකයන් 27 දෙනෙකු මිය ගොස් තිබේ.
මෙයට අමතරව ඝාතන නිසා පුද්ගලයන් 10 දෙනෙකුද වෙනත් හේතු නිසා තිදෙනෙකුද වශයෙන් 2023 වසරේදී පුද්ගලයන් 476 දෙනෙකු මිය ගොස් ඇති බව කාර්යාංශය කියයි.
2022 වසරේදී පුද්ගලයන් 304 දෙනෙකු, 2021 වසරේදී 295 දෙනෙකු, 2020 දී පුද්ගලයන් 173 දෙනෙකු, 2019 වසරේදී පුද්ගලයන් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.
මොහොමඩ් ආශික්