2019 වසරේ සිට වර්තමානය දක්වා නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්ව ඇති අතර ඉන් පවුල් 264ක් තවමක් තාවකාලික නිවාසවල පදිංචිව සිටින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එමෙන්ම තවත් පවුල් 128ක් වර්තමානය වන විට ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවාසවල පදිංචි වී සිටින බවද එහිදී හෙළි විය.
2019 සිට 2025 දක්වා කාලයෙහි වැඩිම පවුල් සංඛ්‍යාවක් නායයාම් හේතුවෙන් අවතැන්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 955ක් මෙයට අයත්ය.
එම පවුල් අතරින් පවුල් 104ක් මේ වනවිට තාවකාලික නිවාසවල පදිංචිව සිටින අතර, තවත් පවුල් 42ක් ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවාසවල රැඳී සිටිති. නුවර එළිය දිස්ත්‍රික්කයේ පවුල් 658ක් මෙම කාලයෙහි නායයාම් හේතුවෙන් අවතැන්ව ඇති අතර, එයින් පවුල් 3ක් මේ වන විට තාවකාලික නිවාසවල පදිංචිව සිටී.
මේ අතර 2019 සිට 2025 දක්වා කාලයෙහිකෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 526ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 397ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 127ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 118ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 112ක් ද නායයම් හේතුවෙන් අවතැන්ව තිබේ.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා ලබා දුන් පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.
2020 වර්ෂයේ ඇති වූ කෝවිඩ් 19 වසංගත තත්ත්වය හා 2021 වර්ෂයේ ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලබා දෙන මුදල්වලින් නිවසක් ඉදිකිරීමට නොහැකි වීම හා ඉඩමක් මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 400,000ක මුදල සහ නිවසක් ලබා ගැනීමට ලබා දෙන රුපියල් 1,600,000ක මුදල ප්‍රමාණවත් නොවීම, ඇතැම් දිස්ත්‍රික්කවල ඉඩම් මිල අධික වීම සහ රජයේ ඉඩම් නොමැති වීම හේතුවෙන් නැවත පදිංචි කිරීමට ඉඩම් ලබා ගැනීමට නොහැකි වීම වැනි කරුණු ගණනාවක් මත නැවත පදිංචි කිරීම ප්‍රමාද වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මීට විසඳුම් ලෙස නැවත පදිංචි වීමේ වැඩසටහනට ඇතුළත් වීමට අකමැති හා මේ වන විටත් අධි අවදානම් නිවාසවල රැඳී සිටින පිරිස් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිපාදන ව්‍යසන කළමනාකරණ පනතට ඇතුළත් කර ඇති බවත්, එම පනත සංශෝධනය කරමින් සිටින බවත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙන රුපියල් 2,000,000ක මුදල වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අදාළ පිළිතුරු මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.